1000 ඉල්ලා වතුකරයේ හර්තාල්

1000 ඉල්ලා වතුකරයේ හර්තාල්

දෙමළ, මුස්ලිම් ජනයාගේ අයිතීන් දිනා ගැනීම උදෙසා උතුරු නැගෙනහිරන් සිව් දින අඛණ්ඩ විරෝධතා දියත් වෙද්දී, වසර ගණනාවක් තිස්සේ ඉටු නොවු මුලික වැටුප වැඩි කර ගැනීමේ වතු කම්කරුවන්ගේ සටනට සහාය පල කරමින් ඊයේ මධ්‍යම කඳුකරයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි.

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පෙබරවාරි 5 සිකුරාදා වතුකරය පුරා සාර්ථක හර්තාල් ව්‍යාපාරය දියත් කළ පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

වතු කම්කරුවන් ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය සාර්ථකව සිදු කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්, වතු යටිතල සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ද මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ වෘත්තිය සමිති භේදයකින් තොරව හර්තාලය සදහා වතු කම්කරුවන් එක්ව සිටියේය.

වතු කම්කරුවන් තම දෛනික වැඩ කටයුතු වලින් ඉවත් වී ඇති අතර අද දිනයේ කිසිදු කම්කරුවකු සේවයට වාර්තා කර නොමැති බව ඔවුහු වැඩි දුරටත් පවසති.

හර්තාල් ව්‍යාපාරයට සමගාමීව වතුකරයේ සියලු ම වෙළෙඳ සැල් ද වසා දමා සහයෝගය දැක්වීමට හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, කොටගල, තලවකැලේ ඇතුළු වතුකරයේ නගර වල වෙළෙඳ සංගම් ද කටයුතු කර තිබිණි.

එමෙන් ම වතුකරයේ දෙමළ පාසල් වල ඇතැම් ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කර මෙම හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දක්වා ඇත.

වතුකරයේ කෙටි දුර ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථ ද හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දක්වා ඇත්තේ ධාවන කටයුතු වලින් ඉවත් වෙමිනි.

කෙසේ නමුත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සහ දුර සේවා පෞද්ගලික බස් රථ සුපුරුදු පරිදි ධාවනය කටයුතු සිදු කල බව පළාත් බව වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් පෙබරවාරි 8 දින වතු සමාගම් සහ වතු වෘත්තීය සමිති අතර යළිත් වරක් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මාධ්‍යවේදීන් හා පවසා තිබේ.

වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බවට බලයට පත්ව සිටින ආණ්ඩුව මැතිවරණ සමයේදී පොරොන්දු ලබා දී තිබුනි.

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු හාම්පුතුන්ට බලකරමින් අද හපුතලේ නගරයේදීද උද්ඝෝෂණයක් හා විරෝධතා පා ගමනක් පවත්වා තිබුනි.

එය සංවිධානය කර තිබුනේ වතු කම්කරු මධ්‍යස්ථානය විසිනි.

"ඉඩම් නෑ, නිවාස නෑ, ඇඩ්රස් නෑ, වතුකම්කරුවන්ට කෝ නිදහස" මුලික බැනරය යටතේ පැවැති විරෝධතාවය සදහා "දාහේ බොරුවට වසර හයයි දැන්වත් වතු කම්කරුවන්ගේ බේසික් එක දාහ කරනු, " යන සටන් පාඨයත් එක් කරගෙන තිබුනි.

(ද ලීඩර්)