මෙවර අයවැයෙන් වැඩකරන ජනතාවට රු: 10000කින් වැටුප් වැඩි කලේ නැත්නම් සටන් මඟට

මෙවර අයවැයෙන් වැඩකරන ජනතාවට රු: 10000කින් වැටුප් වැඩි කලේ නැත්නම් සටන් මඟට

රාජ්‍ය, අර්ධ රාජ්‍ය. වතු සහ පෞද්ගලික අංශය නියෝජනය කරන රටේ සමස්ත වැඩකරන ජනතාවට ඉහල යන ජීවන වියදම හමුවේ මෙවර අයවැයෙන් අවම වශයෙන් රු. 10000/= කින් වත් සියළු සේවක වැටුප් වැඩි කරන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, රාජ්‍ය, අර්ධ රාජ්‍ය. වතු සහ පෞද්ගලික අංශය නියෝජනය කරන රටේ සමස්ත වැඩකරන ජනතාවට වැඩිවන ජීවන වියදම හමුවේ ජීවත් වීමට සරිලන ආකාරයට වැටුප් වැඩි කරන බවට පොරොන්දු ලබා දී බලය ලබාගත් ඔබ ආණ්ඩුවට දැන් වසර 02 කට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇත. මේ වන විට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් හි මිළ කිසිදු පාලනයකින් තොරව ඉහල යෑමට ඉඩහැරීම තුලින් ජනතාව වෙනුවෙන් වගවීමේ ආණ්ඩුවක් සතුවිය යුතු ගුණාංගය අතහැර දැමීම පිළිබඳව ඔබ පාලනයට අපගේ බලවත් විරෝධය හා අප්‍රසාදය පලකර සිටිමු.

මෙම වගකීම් විරහිත පාලනයේ ප්‍රථිඵල ලෙස 2019 වසර අවසානයේ සිට මේ වනවිට පෙට්ට්‍රල් ලීටරයක් රු. 20/= කින්, පාන් රාත්තලක් රු. 10/= කින්, හාල් කිලෝවක් රු. 30/= කින්, කිරිපිටි කිලෝවක් රු. 200/= කින්, පරිප්පු කිලෝවක් රු. 100/= කින්, සීනි කිලෝවක් රු. 25/= කින්, ගෑස් සිලින්ඩරයක් රු. 1164/= කින්, පොල් ගෙඩියක් රු. 25/= කින්, සබන් කැටයක් රු. 20/= කින් ආදී වශයෙන් සියළු භාණ්ඩ හා සේවාවන් හී මිළ ඉහල ගොස් ඇත.

මේ වනවිටත් දෛනිකව ජීවන වියදම ඉහල යමින් පවතින අතර, එහි සීඝ්‍රතාව ගණනය කිරීමට නොහැකි මට්ටමක පවතී. මෙය තහවුරු කිරීමට අවශ්‍ය සංඛ්‍යා, තොරතුරු දත්ත මහබැංකු වාර්තා සහ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා සාක්‍ෂි සපයයි. එසේම යකඩ, සිමෙන්ති, වයරිං උපකරණ ඇතුළු සියළු ඉදිකිරීම් භාණ්ඩ වල මිළ දැවැන්ත ලෙස වැඩිවීම නිසා ණය මුදලක් ගෙන හෝ හිසට වහලක් ඉදිකර ගැනීමේ සිහිනය බොහෝ වැඩ කරන ජනතාව අත්හැර දමා ඇත.

පාසල් උපකරණ මිළ, ප්‍රවාහන මිළ දරාගැනීමට නොහැකිවීම දරුවන්ගේ අධ්‍යාපනයේ සාර්ථකත්වයට ද බාධාවකි. බෙහෙත් පෙත්තේ සිට සියළු වෛද්‍ය සේවාවන් හි මිළ ඉහල නැගීමෙන් එම අවශ්‍යතාවන් සපුරා ගැනීමට අපහසුවීම නිසා ජීවිත පවා අනතුරට ලක්වී ඇත.

මෙමගින් බරපතල ගැටළුවකට ජේයෂ්ඨ පුරවැසියන් වන විශ්‍රාමිකයින් මුහුණ පාමින් සිටී. මෙවැනි තත්වයක් තුල වුවත් ඔබ පාලන කාලය තුල දී වැඩකරන ජනතාව ලබන වැටුප කිසිදු ආකාරයකින් වැඩිවීමකට ලක්නොකිරීම නිසා ජීවන වියදමේ වැඩිවීම දරාගැනීමට ඔවුනට සිදුව ඇත්තේ ජීවිතයේ අත්‍යාවශ්‍ය සාධක පවා අත්හරිමිණි.

එපමණක් නොවේ වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි නොකිරීමට අමතරව, වැඩ කරන ජනතාවට හිමිවිය යුතු ඇති වැටුප් ද ඔබ ආණ්ඩුව විසින් ලබා දීමට මේ දක්වා ම කටයුතු කර නොමැත. එහි ප‍්‍රකාශනය බවට පත්ව ඇත්තේ ගුරුවරු හා විදුහල්පතිවරු ද සෞඛ්‍ය සේවකයින්ද සංවර්ධන නිලධාරීන්ද විශ්‍රාමිකයන්ද වතු සේවකයින්ද දැනටමත් තම අයිතිය වෙනුවෙන් සටනට අවතීර්ණ වී සිටීමයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට සතුටුදායක වැටුපක් ලබා දීමට මෙනම ඔවුන්ට විධිමත් විශ්‍රාම වැටුපක් ලබා දීමට ද ඔබගේ ආණ්ඩුව කටයුතු කරන බවට මැතිවරණ කාල වලදී ලබා දුන් පොරොන්දු අනෙක් බොහෝ පොරොන්දු සේම හුදු ප්‍රලාප බවට පත්ව ඇත.

එසේම, රටෙහි භාණ්ඩ හා සේවා මිළ ඉහල යන තරමට පෞද්ගලික හැකියාව ඇති සියල්ලෝම තමතමන්ගේ ක්‍ෂේත්‍රයන්ගේ වැටුප් වැඩිකර ගැනීමට පෞද්ගලිකවත් සමූහයක් ලෙසත් උත්සාහ දරති. එහි ප්‍රතිඵලයද නැවත වටයකින් බලපා ඇත්තේ තමන්ගේ වැටුප තමන් හට තීරණය කරගත නොහැකි රාජ්‍ය, අර්ධරාජ්‍ය, පෞද්ගලික, වතු ක්‍ෂේත්‍රයන්හි සේවයේ නියුතු වැඩකරන ජනතාවගේ ජීවිත වලටය.

එසේ තිබිය දී වුවත්, දැඩි දුෂ්කරත්වයන් යටතේදීද, පසුගිය කාල වකවානුව තුල අත්‍යවශ්‍ය සේවා සපයමින් රට තවදුරටත් බිඳවැටීමට නොදී ආර්ථිකය ගොඩනැගීමට ශ්‍රමය සපයන වැඩකරන ජනතාව දක්වන දායකත්වය ඔබ පාලනයේ නිසි ඇගයීමට ලක්වූයේ නැත.

පොදු ප්‍රවාහන සේවා නතර කර තිබූ කාලය තුලද, අත්‍යාවශ්‍ය සේවා නමින් කැඳවූ පසු තම වියදමින් ප්‍රවාහන පහසුකම් සපයා ගනිමින් සේවයට පැමිණ කළ කාර්යය ඉටු කිරීම මේසා විසාල ජීවන වියදම් වැඩිවීමක් හමුවේ තවදුරටත් කළ නොහැකිය. එම නිසා ප්‍රරමාණවත් වැටුප් වැඩිවීමක් ලබාගැනීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය හා අනිවාර්යය කරුණක් වී ඇත.

එම නිසා එළඹෙන අයවැය තුලින් වැඩිවී ඇති ජීවන වියදම සලකා සියළු සේවක වැටුප් අවම වශයෙන් රු. 10000/= කින් හෝ වැඩිකිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. ඊට අවශ්‍ය නීති රෙගුලාසි සම්පානදය කළ යුතුය. එසේ නොවන්නේ නම් රාජ්‍ය, අර්ධරාජ්‍ය, පෞද්ගලික වතු යන ක්‍ෂේත්‍රයන්හි සියළු ශක්තීන් ඒකරාශි කරගනිමින් අනිකුත් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ද සමගින් වැඩකරන ජනතාවගේ ”ජීවත්වීම සඳහා වන සටනට” නායකත්වය ලබා දෙමින් මැදිහත් වීමට අප වෘත්තීය සමිති මධ්‍යස්ථානය සූදානම්ය.

එමගින් සිදුවන සියළුම අනිටු ප්‍රතිඵලයක් වේනම් ඒ සියල්ලෙහිම වගකීම ඔබ පාලනය විසින් භාරගත යුතුය.

එම නිසා එළඹෙන අයවැය තීරණාත්මක සංධිස්ථානයක්සේ සලකා සියළු සේවක වැටුප් අවම වශයෙන් රු. 10000/= හෝ වැඩිකරන ලෙස අවධාරණය කරන අප එසේ කිරීමට ඔබ ආණ්ඩුව කටයුතු නොකරන්නේනම් වැඩකරන ජනාතාවගේ ශුද්දවූ අයිතිය වෙනුවෙන් සටන් ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට සිදුවන බව ද අවධාරනය කිරීමට කැමැත්තෙමු.