හෙද සභා නිලවරණය දෙසැම්බර් 11 දා

හෙද සභා නිලවරණය දෙසැම්බර් 11 දා

ශ්‍රී ලංකා හෙද සභාවට ඉදිරි වර්ෂ 5 ක කාලයක් සඳහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා අදාල නාම යෝජනා කැඳවා අති බවත් සාමාජිකයින් තෝරාපත් කරගැනීමේ නිලවරණය 2021 දෙසැම්බර් 11 දින පවත්වන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ හෙද සභා නිලවරණ කමිටුවේ, සභාපති, එස්. ජනක ශ්‍රී චන්ද්‍ර ප්‍රේම මහතා (අතිරේක ලේකම් (සංවර්ධන) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනය පහතින් දැක්වේ

ශ්‍රී ලංකා හෙද සභාවට ඉදිරි වර්ෂ 5 ක කාලයක් සඳහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා අදාල නාම යෝජනා කැඳවීමේ දැන්වීම 2021.02.25 දින හා   අංක 2217 ගැසට් පත්‍රය මගින් පල කරන ලදී. ඒ අනුව 9.1, 9.2 ,9.3, 9.4, 9.5, 9.6 හා 9.7 කාණ්ඩ සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරින් 9.2 ,9.3, 9.4 යන කාණ්ඩ සඳහා සාමාජිකයන් නිතරඟයෙන් පත් කර ඇත. සෙසු කාණ්ඩ වන 9.1, 9.5, 9.6 හා 9.7  යටතේ සුදුසුකම් සපුරා ඇති අපේක්‍ෂකයන් අතරින් හෙද සභා සාමාජිකයන් තෝරා ගැනීමේ නිලවරණය 2021.12.11 දින පෙ.ව. 07.00 සිට ප.ව. 04.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 32 කදී පැවැත්වේ. නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අංක 2256/33 දරන හා 2021.12.01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනය www.documents.gov.lk  වෙබ් අඩවියෙන්   බාගත කිරීම (download) කළ හැක.

02. ගැසට් නිවේදනයේ උප ලේඛන අංක 1 හි ඡන්දය පැවැත්වෙන මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු සවිස්තරව දැක්වේ. ගැසට් නිවේදනයේ තුන් වන ඡේදය පහත පරිදි උපුටා දක්වමි.

මෙම නිලවරණයේ දී ඡන්දය ප‍්‍රකාශ කිරීමට හිමිකම් ලබනුයේ 2020.12.31 දිනට ප‍්‍රථම ශ‍්‍රී ලංකා හෙද සභාවේ හෝ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගෙන ඇති සහ දැනට සක‍්‍රීය සේවයේ නියැලී සිටින හෙද/හෙදි නිලධාරීන්ට පමණි. ඒ අනුව මෙම සියලූම කාණ්ඩ යටතේ ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී තමා සක‍්‍රීය සේවයේ යෙදී සිටින රෝහලට අදාළව පිහිටවනු ලබන ඇති ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඡන්ද දායකයන්ට හැකි වන අතර, ඡන්දය ප‍්‍රකාශ කරනු ලබන ඡන්ද දායකයන් විසින් තමන් ඡන්දය ප‍්‍රකාශයට පත් කරනු ලබන ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ස්ථානාධිපතිවරයා වෙත ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පහත සඳහන් ලිපිලේඛන ඉදිරිපත් කළ යුතුය.

(අ) ජාතික හැඳුනුම්පත/ වලංගු විදේශ ගමන් බලපත‍්‍රය/වලංගු රියදුරු බලපත්‍ර‍්‍ර ය,

සහ

(ආ) ශ‍්‍රී ලංකා හෙද සභාවේ ලියාපදිංචි හැඳුනුම්පත හෝ වෛද්‍ය සභාවේ ලියාපදිංචි හැඳුනුම්පත හෝ එම හැඳුනුම්පත් නොමැති නම් හෙද සභාවේ ලියාපදිංචි සහතිකයේ සහතික කරන ලද හෝ වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකයේ සහතික කරන ලද පිටපතක්

සහ

(ඇ) සක‍්‍රීය සේවයේ රාජකාරී කටයුතුවල නියුතු වන බවට රෝහල් අධ්‍යක්ෂ/ වෛද්‍ය අධිකාරි/ ආයතන ප‍්‍රධානි/ ප‍්‍රධාන විශේෂ ශ්‍රේණි හෙද නිලධාරි/ විශේෂ ශ්‍රේණි හෙද නිලධාරි විසින් නිකුත් කරනු ලබන සේවා ස්ථාන සනාථ කිරීමේ සහතිකය.

මෙම සේවා ස්ථානය සනාථ කිරීමේ සහතිකය නිකුත් කිරීම කළ හැක්කේ 2020.12.31 වන දිනට ප‍්‍රථම ශ‍්‍රී ලංකා හෙද සභාවේ හෝ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇති හෙද නිලධාරින් / නිලධාරිනියන් සඳහා පමණි. තවද, ඡන්දය ප‍්‍රකාශ කරනු ලබන නිලධාරියා සක‍්‍රීය සේවයේ නියුතු බවට ආයතන ප‍්‍රධානියා විසින් නිකුත් කළයුතු ”ඡන්ද ප‍්‍රකාශ කිරීම සඳහා රාජකාරි සේවා ස්ථානය සනාථ කිරීමේ සහතිකය” ආකෘතිය උපලේඛන 3හි දැක්වේ. ( 9.7 පෞද්ගලික කාණ්ඩය යටතේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ද ආයතන ප‍්‍රධානියාගෙන් උක්ත ආකෘතියේ සේවා සහතිකයක් ලබාගෙන ඉදිරිපත් කළ යුතුය.)”

03. හෙද සභා නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හිමිකම් ලැබෙනුයේ 2020.12.31 දිනට ප්‍රථම ශ්‍රී ලංකා හෙද සභාවේ හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලත් දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින පහත කාණ්ඩ වලට අයත් හෙද නිලධාරීන්ට පමණි.

ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ලබන කාණ්ඩය

9.1

රෝහල් සේවාවිශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී/ වාට්ටු භාර හෙද සොයුර /සොයුරිය

9.5

මාණ්ඩලික හෙද /හෙදි නිලධාරීන්I, II, III ශ්‍රේණි සහ අධි ශ්‍රේණියේ හෙද /හෙදි නිලධාරීන්

9.6

ආයුර්වේදහෙද /හෙදි නිලධාරීන්

9.7

පෞද්ගලිකහෙද /හෙදි නිලධාරීන්

 

04. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය වන ලේඛන ඉහත උපුටා දැක්වූ ගැසට් නිවේදනයේ තුන් වන ඡේදයේ සවිස්තරව දැක්වේ. එහි (ඇ) අනුව සක්‍රීය සේවයේ යෙදී සිටින බවට අදාල රෝහල් බලධාරීන් විසින් උක්ත ගැසට් නිවේදනයේ උපලේඛන 03 ආකෘතිය අනුව (ආකෘතිය මේ සමග අමුණා ඇත) නිකුත් කරන ලද සහතිකයක් ඉදිරිපත් කිරීම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සෑම හෙද නිලධාරියෙකුටම/ නිලධාරිනියකටම අවශ්‍ය වේ.