කොවිඩ් 19ට මුවා වී සෞඛ්‍ය අමාත්‍යංශය ගසාකැම්වල යෙදෙනවාද ?

කොවිඩ් 19ට මුවා වී සෞඛ්‍ය අමාත්‍යංශය ගසාකැම්වල යෙදෙනවාද ?

රට විරුවන් වන විදේශ සේවකයන් කෙරෙහි රජයේ වගකීම අවභාවිතා කරමින් rapid PCR සඳහා NMRA ලියාපදිංචිය නොමැති තාක්ෂණයක් නිර්දේශ කිරීම හා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද කොවිඩ් -19 ට රෝගයට අදාළ උපකරණ සඳහා ටෙන්ඩරය රඳවා තබා ගැනීමට හේතු සොයා බලන ලෙස සිදු කරන ඉල්ලා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, රටේ බොහෝ ප්‍රදේශ වල ඉතා වේගයෙන් බෝවන කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයක් හඳුනාගෙන ඇතත්, කොවිඩ් -19 වෛරසය පාලනය කිරීමේ උපායමාර්ගය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම විනිවිද නොපෙනේ. රට තුළ 4 වන කොවිඩ් -19 රැල්ලට මඟ පාදමින්, ක්‍රියාත්මක වෙමින් තිබූ පීසීආර් පරීක්ෂණ වැඩසටහන ද එහි ප්‍රශස්ත මට්ටමින් සිදු නොකරමින් පීසීආර් පරීක්ෂණ ක්‍රියාවලිය මුළුමනින්ම අඩාල කර ඇත.

මීට අදාලවම පහත සඳහන් ප්‍රශ්ණ සඳහා හේතු පැහැදිලි කරන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

  • ක්ෂණික ස්ථානීය (Rapid RT POCT) PCR ඒකක 14 ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ 20 ක් සඳහා වූ ටෙන්ඩරය අත්හිටුවා දැමීම - 2021 ජූනි මස මුල් සතියේ සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර වීම,

හදිසි අවශ්‍යතා මත කෙටි කාලීනව සැපයීම් සිදු කල හැකි සමාගම් සඳහා ප්‍රමුඛතාවය දීමේ පදනම මත Rapid POCT RT PCR ඒකක 14 ක් ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ 20 කට වැඩි ප්‍රමාණයක් (ventilators, by pack, high flow oxygen concentrators, oxygen cylinders and regulators, oxygen therapy instruments, point of care PCR instruments and reagents) සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ටෙන්ඩර් කැඳවන ලදී.  ලංසු තැබීමේ කාලය දින 3 - 5 ක් වැනි කෙටි කාලයක් වුවද මෙම ටෙන්ඩරයේ අවසන් තීරණය මේ දක්වා ප්‍රමාද කිරීමට හේතුව ඉතා සැක සහිත ය.

එබැවින්, ටෙන්ඩර් වලට නිසි සැලකිල්ල නොදක්වා, නව උපකරණ ලියාපදිංචි කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින්, මිත්‍ර පාර්ශවයන්ට අවස්ථාව ලැබෙන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර බලධාරීන් තීරණ ගැනීම කල් දමනවාද යන්න සොයා බැලීම රජයේ වගකීම බව අපි අවධාරණය කරමු. ඒ අනූව කොවිඩ් 19 සිව්වැනි රැල්ල ඇති කරමින් ජනතාවට දඬුවම් පැමිණවීමට පෙර එසේ සිදු කරන බලධාරීන්ට දඬුවම් පැමිණවිය යුතුය.කොවිඩ් -19 පළමු රැල්ල තුළදී පවා ලෝක බැංකුව විසින් අනුමත කරන ලද අරමුදල් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට සමහර සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වූ අතර ජනතාව විස්මයට පත් කරමින් පළමුවන සහ දෙවන කොවිඩ් රැළි වලින් ශ්‍රී ලංකාව ජය ගත් බවට විගඩම ගෙන හැර පාන ලදී. ජනාධිපතිවරයා ක්ෂණික PCR යන්ත්‍ර ඒකක 30 ක් සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එයින් මූලික ඒකක 14 ක් ලබා ගැනීමේ ටෙන්ඩරයට අදාල තීරණ නියමිත වේලාවට නොගෙන සිටීම මඟින් රට අවුල් ජාලාවකට පත් කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ අතිශය නූගත් ක්‍රියාවකි.

  • NMRA ලියාපදිංචිය නොමැති උපකරණයක් නිර්දේශ කිරීම

ක්ෂණික ස්ථානීය  RT PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා NMRA ලියාපදිංචිය නොමැති උපකරණයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට ලබා දුන් නිර්දේශය සම්බන්ධයෙන් දැඩි සැකයක් පවතී.

ඒ අනූව ක්ෂණික  PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා ලොව පුරා වෙනත් නිෂ්පාදන රාශියක් තිබියදී NMRA අනුමැතියක් නොමැති එක් නිෂ්පාදනයක් පමණක් නිර්දේශ කිරීමෙහි මූලික හේතුව අදාල නිර්දේශය ලබා දුන් බලධාරීන් විසින් පැහැදිලි කළ යුතුය.

  • ඉක්මන් PCR සඳහා විදෙස් සේවක විරුවන්ට (RATA WIRUWO)පහසුකම් සැලසීමට රජයේ කැපවීම නොමැති වී

මේ වන විටත් දිවයින පුරා පිහිටි රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ ක්ෂනික ස්ථානීය PCR යන්ත්‍ර ඒකක 16 ක් සාර්ථකව ක්‍රියාත්මක වේ. මීට අමතරව ජනාධිපතිතුමා  විසින් දැනටමත් තවත් ක්ෂණික PCR ඒකක 30 ක් සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මූලික ඇණවුම් ලෙස එයින් ඒකක 14 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවූවද අදාල ක්‍රියාවලිය අත්හිටුවා ඇත. නමුත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ ක්ෂණික PCR පරීක්ෂණ අවශ්‍යතාවය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පුද්ගලික අංශයේ රසායනාගාර සහ ක්ෂණික PCR යන්ත්‍ර නිර්දේශ කිරීම සිදු කර ඇත්තේ මේ වන විටත් තමන් යටතේ පවතින පහසුකම්වත් පිළිබඳවවත් සලකා නොබලමිනි.

එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින පහසුකම් භාවිතයෙන් රට විරුවන්ට නොමිලේ ක්ෂනික PCR  සීසීආර් පරීක්ෂණ පහසුකම ලබා දෙන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

කෙසේ වෙතත්, කොවිඩ් 19 මර්දනය කිරීමේ මුවාවෙන් බලධාරීන්ගේ සමහර වංචනික ක්‍රියා සිදු වීම කණගාටුවට කරුණකි. එබැවින් රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාකප්පල් කර රජය අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන පාර්ශවයන් සොයා ගැනීමට අවශ්‍ය විමර්ශනයන් සිදු කරන මෙන් සහ ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම ලබා දෙන ලෙස ගරු ජනාධිපතිවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.