රාජ්‍ය බැංකු රාජ්‍ය අයිතිය යටතේ සුරක්‍ෂිත කරමු - 20% කොටස් විකිණීමේ යෝජනාව පරාජය කරමු

රාජ්‍ය බැංකු රාජ්‍ය අයිතිය යටතේ සුරක්‍ෂිත කරමු - 20% කොටස් විකිණීමේ යෝජනාව පරාජය කරමු

රාජ්‍ය බැංකුවල කොටස්වලින් 20% පෞද්ගලික අංශයට විකිණීම ජාතික අපරාධයක් වන අතර එය මෙම බැංකු පූර්ණ වශයෙන්ම විකුණා දැමීමේ මුල් පියවර මිස අන් කිසිවක් නොවන බව ඉතිහාසය පුරා ඒ ඒ ආණ්ඩු විසින් මෙවැනි ක්‍රියාමාර්ග හරහා රාජ්‍ය ව්‍යවසායන්ට අත්කරදුන් ඉරණම හොඳින් දන්නා අතර,  මෙම සියලු තත්වයන් රාජ්‍ය බැංකුවල සැබෑ  හිමිකරුවන් වන මහජනතාව වෙත දැනුවත් කරමින් සමස්ත බැංකු සේවක ප්‍රජාව ඒ වටා පෙළගස්වමින් රාජ්‍ය බැංකු රාජ්‍ය අයිතිය යටතේ සුරක්ෂිත කිරීමට පෙරමුණ ගන්නා බව ලංකා බැංකු සේවක සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රටේ පවතින ආර්ථිකයට උරදෙන පොදු මහජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීමට අත දෙන රාජ්‍ය බැංකු සිය සේවාව සලසන අතරම ලාභයක් ද උපයමින් දශක ගණනාවක් තිස්සේ රටේ මූල්‍ය හා බැංකු පද්ධතිය තුළ අද්විතීය කාර්යභාරයක් ඉටු කර ඇත. විශේෂයෙන්ම ප්‍රධාන වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුව හා මහජන බැංකුව විසින් එහිදී උසුලන ලද කාර්යභාරය නොවන්නට අපේ රට මේ වන විටත් දැනට වැටි ඇති මට්ටමට ද වඩා ආර්ථිකමය වශයෙන් පහළට ඇද වැටෙනු නොඅනුමානය. එසේම රාජ්‍ය බැංකු අද දක්වාම ලාභ උපයමින් එතුලින් මහා භාණ්ඩාගාරයට බදු හා ලාභාංශ ගෙවමින් රට හා ජනතාව වෙනුවෙන් තම යුතුකම් කොටස මනාව ඉටුකර ඇත.

එවන්වූ රාජ්‍ය බැංකුවල කොටස්වලින් 20% පෞද්ගලික අංශයට විකිණීම ජාතික අපරාධයක් වන අතර එය මෙම බැංකු පූර්ණ වශයෙන්ම විකුණා දැමීමේ මුල් පියවර මිස අන් කිසිවක් නොවන බව ඉතිහාසය පුරා ඒ ඒ ආණ්ඩු විසින් මෙවැනි ක්‍රියාමාර්ග හරහා රාජ්‍ය ව්‍යවසායන්ට අත්කරදුන් ඉරණම හොඳින් දන්නා අපහට රහසක් නොවේ.

පවතින ආර්ථික අර්බුදයට විසඳුම බැංකු ඇතුලු ජාතික සම්පත් විකුණාගෙන කෑම නොව එම ආයතනවල ඒවායේ කළමනාකරණය හා ව්‍යාපාරික සැකැස්ම වඩාත් ශක්තිමත් කරමින් දේශපාලන අතපෙවීම් වලින් තොරව ආයතනික යහපාලනය තුළින්  ඒවා ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීමයි. එවිට රාජ්‍ය බැංකු ජනතාවට දැනටද වඩා සේවයක් සලසමින් වඩා ලාභයක් උපයමින් මීට වඩා ප්‍රගමනකාරීව ඉදිරියට යනු ඇත.

මෙවර අයවැය යෝජනාවලියේ 70 වන වගන්තියේ මූල්‍ය ස්ථායිකරණය යටතේ රාජ්‍ය බැංකුවල කොටස්වලින් 20% ක් විකිණීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ බදු ගෙවන්නන්ගේ අරමුදල් මත ඇති බර අවම කරමින් ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම හා ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකේ අනාගත වර්ධනයට සහායවීම සඳහා මෙලෙස කොටස් විකිණිය යුතු බවය. එසේම එම කොටස් උපාය මාර්ගික අයෝජකයින්ට හෝ මහජනතාවට ලබා දියයුතු බව ද දන්වා ඇත. රාජ්‍ය බැංකුවල කොටස් විකිණීමට දරනු ලබන උත්සාහය අලුත් දෙයක් නොවන අතර ඉතිහාසය පුරාම ඒ ඒ ආණ්ඩු විසින් ඒ ඒ කාලසීමාවල විවිධ හේතු ඉදිරිපත් කරමින් මෙසේ රාජ්‍ය අයිතිය බැංකුවලින් බැහැර කිරීම සඳහා උත්සාහ දරා ඇත. නමුත් කණගාටුවට කරුණ වනුයේ අද මෙන්ම එදා ද ඒ සැම තත්වයක්ම පැන නැගුනේ බැංකුවල ක්‍රියාකාරිත්වයේ වරදක් නිසා නොව ඒ ඒ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල අතුරුඵලයන් නිසා වීමය. එබැවින් වත්මන් ආණ්ඩුව ද එම වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරගනිමින් රාජ්‍ය බැංකු තවදුරටත් රාජ්‍ය අයිතිය යටතේ සුරක්‍ෂිත කරනු වෙනුවට ඒවායේ කොටස් විකුණමින් තාවකාලික පැලැස්තර විසඳුම්වලට යාමට උත්සාහ දැරිම පිළිබඳව කිසිසේත් එකඟවිය නොහැක.

ආර්ථික අර්බුද, දේශපාලන කුණාටු, ගෝලීය බලපෑම් වැනි සියලු අභියෝග මධ්‍යයේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මේ දක්වා ලාභ උපයමින් ලාභාංශ හා බදු මහා භාණ්ඩාගාරයට ගෙවමින් රඳවාගත් ලාභ හරහා සිය ප්‍රාග්ධන පදනම ශක්තිමත් කර ගනිමින් රටේ ආර්ථිකයේ පැවැත්මට අඛණ්ඩව උරදී ඇත. මෙම බැංකු මෙලෙස රටේ ආර්ථිකයට දායක වී ඇත්තේ වාණිජමය තරඟකාරී සේවාවන්ට අමතරව රජයේ සුභසාධන ඇතුළු වෙනත් ලාභ නොලබන සේවාවන් ගණනාවක් සපයන අතරතුරය. එසේම වී වගාව ඇතුළු කෘෂිකාර්මික භෝග සඳහා ඒ ඒ ආණ්ඩු හරහා ලබාදෙන සහනයන් සියල්ල ලාභයෙන් කපා හැරීම්වලට ද මුහුණ දෙමින්ය.

මෙවර අයවැය යෝජනාවල 70 වන වගන්තියේ මෙන්ම ඇමුණුම 06 යටතේ 67 වන පිටුවේ ද මෙම බැංකුවල ප්‍රාග්ධනය මත පීඩනයක් එල්ලවීමට හේතු වූ කරුණු පැහැදිලිව විග්‍රහකර ඇත. එසේම ඒ සඳහා රුපියල් බිලියන 450 ක ප්‍රතිප්‍රාග්ධනකරණයක් කිරීමට ගෙන ඇති තීරණය ද බැංකු පාලනාධිකාරියේ නිලධාරීන් පත් කිරීමේ දී සැලකිලිමත් වීමට ගෙන ඇති තීරණය ද අප අගය කරමු. නමුත් මේ සියල්ල මැද රාජ්‍ය බැංකු රාජ්‍ය අයිතිය යටතේ සුරක්‍ෂිතකර නංවාලීමට කළ හැකි බොහෝ දේ තිබිය දී කොටස් විකිණීමේ කෝකටත් තෛලය වෙත යොමුවීම පිළිබඳව අපගේ බලවත් විරෝධය පළකර සිටිමු.

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමේ එම ආයතන රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණය ගෙවීම් කිරීම සඳහා කෙටිකාලීන සැලසුම් සැකසීම, මෙම බැංකුවලින් ණය ලබාගෙන ගෙවීම් පැහැරහැර ඇති ප්‍රධාන පෙළේ ණයකරුවන් වෙතින් එම ණය කඩිනමින් අයකර ගැනීමට හැකිවන ආකාරයට නව නීති සම්පාදනය කිරීම ඇතුළු පියවරයන්ගෙන් මෙම බැංකුවල ප්‍රාග්ධනය මත එල්ල වී ඇති පීඩනය ලිහිල් කිරීමට කටයුතු කිරිම විනා මෙම වටිනා ජාතික සම්පත් කෙටිකාලින අරමුණු උදෙසා විකිණීම ජාතික අපරාධයක් බැව් අවධාරණය කළ යුතුය.

පසු ගිය අතුරු අය වැයේ සිටම රාජ්‍ය බැංකුවල කොටස් විකිණීමට දරන උත්සාහයට එරෙහිව අප ජනාධිපතිවරයා ඇතුළු සියලු බලධාරීන් වෙත කරුණු දක්වා ඇත. එසේම විකල්ප යෝජනා ගණනාවක්ද ඉදිරිපත් කර ඇත.

එබැවින් රටේ ආර්ථිකයේ සවිමත් කුළුණු බදු මෙම බැංකු ද්විත්වය කෑලි විකුණමින් විනාශ මුඛයට නොයවා ඒවා රාජ්‍ය අයිතිය යටතේ නංවාලීම සඳහා කඩිනම් සාකච්ඡාවකට එළඹෙන මෙන් අප ආණ්ඩුව වෙත බලකර සිටිමු. ආණ්ඩුව විසින් මෙවර සිය අයවැය යෝජනාව අවසන් කරමින් ඉදිරිපත් කර ඇති සමාජ සම්මුතිය යථාර්ථයක් වන්නේ එවන් සංවාදශීලී වැඩ පිළිවෙළක් හරහා ගොඩනැගෙන තිරසර විසදුම් වලින් පමණි.

කෙසේ වුවද ඉතිහාසය පුරා රාජ්‍ය බැංකු සියලු උවදුරු වලින් සුරැකීමට දිවි හිමියෙන් කැපවූ වගකිවයුතු වෘත්තීය සංගමයක් ලෙස අප මෙම සියලු තත්වයන් රාජ්‍ය බැංකුවල සැබෑ  හිමිකරුවන් වන මහජනතාව වෙත දැනුවත් කරමින් සමස්ත බැංකු සේවක ප්‍රජාව ඒ වටා පෙළගස්වමින් රාජ්‍ය බැංකු රාජ්‍ය අයිතිය යටතේ සුරක්ෂිත කිරීමට පෙරමුණ ගන්නා බව අවධාරණය කර සිටිමු.