හමුදා ලොක්කෙක් වෛද්‍යවරුන්ට කර ඇති මරණ තර්ජනයෙන් වෛද්‍ය සංගමයෙන් වෘත්තීමය පියවරක් ගනීද ?

හමුදා ලොක්කෙක් වෛද්‍යවරුන්ට කර ඇති මරණ තර්ජනයෙන් වෛද්‍ය සංගමයෙන් වෘත්තීමය පියවරක් ගනීද ?

ආණ්ඩුව විසින් වසංගත මර්දනය පවරා ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස් නිලධාරියෙක් ජාතිවාදී පරුෂ වචනයෙන් වෛද්‍ය කාර්යමණ්ඩල ප්‍රධානියකුට ඇතුලු නිලධාරීන්ට බැණවැදී මරණ තර්ජන කිරීමත් සමග ත්‍රිවිධ හමුදාවේ විනය පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සැක සංකා මතුව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිපියක් යොමු කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දැනුම් දී ඇති පරිදි යුද හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.කේ.එස්. පැරකුම් විසින් වැලිඔය- සම්පත්නුවර දිස්ත්‍රික් රෝහලට පැමිණ එහි සිටි වෛද්‍ය කාර්යමණ්ඩල ප්‍රධානියාට හා සෙසු නිලධාරීන්ට බැනවැදී මරණීය තර්ජන කර ඇති බවයි.

“බ්‍රිගේඩියර් කේ. කේ. එස්. පැරකුම් සම්පත්නුවර දිස්ත්‍රික් රෝහලට ගොස් එම ආයතනයේ ප්‍රධානියා සහ තවත් වෙනත් වෛද්‍ය නිලධාරීන් පිරිසක් හට “පර දෙමළා, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්, තොපි මරණවා. මේක මගේ ඒරියා එක” යනුවෙන් තර්ජනය කර ඇති බව ඔබට කනගාටුවෙන් දැනුම් දෙමි. ” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට ඔක්තෝබර් 28 යොමු කළ ලිපියේ ඉහලින්ම සදහන් කර තිබේ.

ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, ආරක්ෂක ලේකම්, සෞඛ්‍ය ලේකම් හා යුද හමුදාපති ඇතුලු බලධාරීන් කිහිප දෙනකු වෙතම පිටපත් යොමු කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරියට යොමු කල එම ලිපියේ වැඩි දුරටත් සදහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ඔක්තෝබර් 26 දින යුද හමුදාපතිවරයාද දැනුවත් කර තිබෙන බවයි.

යුද සමයේදී රජයේ වෛද්‍ය නිලධාරීන් ආරක්ෂක අංශ වෙත ලබා දුන් සහයෝගයත් එම ලිපියෙන් සිහිපත් කර දී තිබේ.

“අපගේ මව්බිමෙහි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා සන්නද්ධ හමුදාවන්ට සහ පොලිසියට සදාචාරාත්මක හා වෛද්‍යමය සහාය ලබා දීම සහතික කිරීම සඳහා යුද්ධය අතරතුර කාලයේ දී අපගේ සියලුම වෛද්‍යවරු හමුදාවට ගෞරවයෙන් සැලකූ බව අපි සිහිපත් කරමු.”

කෙසේ වෙතත්, බ්‍රිගේඩියර් කේ. කේ. එස්. පැරකුම්ගේ හැසිරීම ත්‍රිවිධ හමුදාවේ විනය පිළිබඳ අපේක්ෂිත ප්‍රමිතීන්ට අනකූල නොවන අතර, එය වෛද්‍යවරුන්ගේ සහ සෙසු පුරවැසියන්ගේ ගෞරවය සහතික කිරීමට ද අපොහොසත් ව තිබෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

GMOA Letter