කටුනායක - බියගම වෙළෙඳ කලාපවල නවතම තත්ත්වය!

කටුනායක - බියගම වෙළෙඳ කලාපවල නවතම තත්ත්වය!

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලාවලින් මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 423 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එයින් 411 දෙනෙකු කටුනායක ආයෝජන කලාපයෙන් සහ අනෙක් 12 දෙනා බියගම කලාපයෙන් හඳුනාගත් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසයි.

ඔහුගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මෙසේද දැක්වෙයි.

“මෙම මස 08දා සිට 28 දින දක්වා දින 20 කාලය තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ශාලා තුළ පමණක් PCR පරීක්ෂණ 26500කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසයි.

ආයෝජන ප්‍රවර්ධන කලාප 14 තුළ පමණක් PCR පරීක්ෂණ 16527ක් සිදුකර ඇත. තවත් පරීක්ෂණ වාර්තා 495ක් ලැබීමටද නියමිතය. ඒ අනුව කොවිඩ් ආසාධිතයින් 423 දෙනෙකු හඳුනාගෙන ඇත. කටුනායක කලාපයෙන් 411 දෙනෙකු හා බියගම කලාපයෙන් 12 මේ අතර වේ.

අනෙක් කලාප 12 කිසිදු ආසාදිතයකු වාර්තා වී නොමැත. මනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නිවස හෝ නේවාසිකාගාරය, පැමිණීම හා කර්මාන්තශාලාව යන සියලු ස්ථානයන් හිදී ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම් හා ආරක්ෂිත වැඩ සටහන් ක්‍රියාත්මක කරයි.

කටුනායක කලාපය තුළ කර්මාන්තශාලා 69 ක් තුළ PCR පරීක්ෂණ 7708 ක් සිදු කර ඇත. බියගම ආයතන 48 ක් තුළ පරීක්ෂණ 3921 සිදුකර අවසන්ය. අනෙක් කලාප සියල්ලේ ද PCR පරීක්ෂණ සිදුකර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්නායකයන්ට අනුව තවදුරටත් PCR පරීක්ෂණ සිදුකරන බවද මොහොට්ටාල මහතා පවසයි.

ආයොජන කලාපවලින් බැහැරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලා 1615ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ. අදාළ කාලය තුළ මෙම කර්මාන්ත ශාලා තුළ ද PCR පරීක්ෂණ 10,051ක් සිදුකර ඇත.

කොවිඩ් අසාධිත සේවකයින් පිළිබද අදහස් දක්වන මොහොට්ටාල මහතා අද වන විට අපගේ කලාප තුළ ගතහොත් කටුනායක 411ක් හා බියගම 12ක් හදුනාගෙන තිබෙනවා. එහෙත් එහි පාලනයක් පෙනී යනවා. කලාපවලින් බැහැරව ගතහොත් ආරම්භය සීදුව, ගම්පහ දිස්ත්‍රික්කයේ අපගේ කර්මාන්තශාලා තුළ 1003ක් ද කොළඹ දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලාතුළින් ආසාදිතයින් 53ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 3ක් හා හම්බන්තොටින් 1 අයෙක් ලෙසද වාර්තා වෙනවා. සමස්ථයක් ලෙස ගත් කළ කර්මාන්තශාලා ඉතාමත් යහපත් සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරන බවත්, ශ්‍රී ලංකා ආයෝජන අදාළ නියාමනයන් සිදුකරන බවද මොහොට්ටාල මහතා පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්ත ශාලා 1615ක් දිවයිනේ දිස්ත්‍රීක්ක 25 ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි. මේ තුළ ලක්ෂ 6 කට ආසන්න පිරිසක් සේවයේ යෙදෙති. එසේම ආයෝජන කලාප 14 තුළ තවත් එක්ලක්ෂ තිස්තුන් දහසක් (133000) නිෂ්පාදන ක්‍රියාවලියට එක් වෙති. මීට අමතරව මිලියන ගනනක පිරිසක් වක්‍ර රැකියා තුළින් ජීවනෝපාය සරිකර ගනී. ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් සියයට හැත්තෑවකට වැඩි ප්‍රමාණයකට දායකත්වට සපයන්නේ මෙම ශ්‍රමබලකායයි…..“

වැඩබිම