රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නුසුදුස්සන් පත්කිරීමෙන් අරමුණු කඩාවැටීමේ අවදානමක

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නුසුදුස්සන් පත්කිරීමෙන් අරමුණු කඩාවැටීමේ අවදානමක

 රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඇතැම් නුසුදුසු පුද්ගලයින් පත් කිරීමෙන් එහි අරමුණු, බලතල හා කර්තව්‍යන් බිඳවැටීමේ අවධානමක් බව සංවර්ධන නිලධාරී සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,

20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තු බහුතරයකින් පවරා දුන් අසීමිත බලතල යොදා ගනිමින් රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙත සාමාජිකයින් පත් කිරීමේදී ඇතැම් ඒ සඳහා නුසුදුසු පුද්ගලයින් පත් කිරීම මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අරමුණු, බලතල හා කර්තව්‍යන් බිඳවැටීමේ අවධානමක් ඇති විය හැකි බව පෙන්වා දෙන්නෙමු.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අලූතින් සාමාජිකයින් පත් කිරීමේදී ව්‍යාපාරිකයින්, රජයේ ලියාපදිංචි මහා පරිමාණ සැපයුම් කරුවන්, රාජ්‍ය මුදල් ආරක්ෂා කර ගනිමින් වංචා දූෂණ වලට එරෙහි වූ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන්ට දඩුවම් ලබා දුන් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු හා ආණ්ඩුවට සම්බන්ධ
දේශපාලන පක්ෂයක මධ්‍යම කමිටු සාමාජිකයෙක් ඇතුලූ පුද්ගලයින් පත් කිරීම ගරු ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කරමින් ඔහු වටා සිටින විවාදයට තුඩු දී ඇති ඇතැම් නිලධාරීන් විසින් සිදු කරන ලද ක්‍රියාදාමයක්ද යන්න බරපතල සැක උපදවන ක්‍රියාවක් වී ඇත.

1946 මැයි මස 15 වන දින බි‍්‍රතාන්‍ය රාජාඥාවක් මඟින් ස්ථාපිත කල ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය භාරය හා කර්තව්‍යන් වූයේ රාජ්‍ය සේවයේ නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම හා විනය පාලනය, සේවාවෙන් පහ කිරීම වැනි කාර්යන් ය. 1972 ජනරජ ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යන් හා කර්තව්‍යන් අමාත්‍ය මණ්ඩලය වෙත පවරා ගනිමින් ඇරඹි ක්‍රියාවලිය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දක්වා විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් වරෙක ස්වාධීන වෙමින්ද වරෙක අමාත්‍ය මණ්ඩලයට යටත් ආයතනයක් ලෙසද ක්‍රියාකර ඇත.

• කාර්ය පටිපාටික රීති සම්පාදනය, රාජ්‍ය සේවයට අදාල චක්‍රලේඛ නිකුත් කිරීම, බඳවාගැනීම් පටිපාටි සකස් කිරීම, ප‍්‍රතිශෝධන කාර්යන්,

• අභිනියෝජිත බලධාරීන් විසින් රාජ්‍ය නිලධාරීන් පත් කිරීමේදී, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පිලිබඳව ගනු ලබන තීරණ වලින් අගතියට පත් රාජ්‍ය සේවකයින්ගේ අභියාචනා සලකා බලා සාධාරණය ඉටු කිරීම.

• වෘත්තීය ආචාර ධර්ම පිළිපදින, විෂමාචාර ක්‍රියා වලින් තොර විනය ගරුක රාජ්‍ය සේවකයකු බිහි කිරීම වැනි සුවිශේෂී කාර්ය භාරයන් රැසක් ඉතිහාසයේ සිට මේ දක්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැවරී ඇත.

ඒ සඳහා රාජ්‍ය සේවයේ හා අධිකරණ ක්ෂේත්‍රයේ පලපුරුදු හා රාජකාරී අත්දැකීම් සහිත නිලධාරීන් පත් කිරීම මෙතක් පැවති ක්‍රමවේදය වූ අතර මෙවර පත් කිරීමේදී සාමාජිකයින් කිහිප දෙනෙකු එම කාණ්ඩ වලට අයත් නොවන පරිදි පත් කිරීම ගැටලූ සහගතය.

1. රජයට සම්බන්ධ මාධ්‍ය ජාලා හිමිකරුවකු, රජයේ ලියාපදිංචි මහා පරිමාණ සැපයුම් කරුවකු හා වත්මන් රජයේ දේශපාලන සමීපතමයකු ඇතුලූ ව්‍යාපාරිකයකු පත් කිරීම.

2. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනුරුත්තාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයෙකු අමාත්‍යාංශය සඳහා ගොඩනැගිලි කුලී පදනමින් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී රජයේ තක්සේරු වටිනාකම අධික ලෙස ඉක්වමින් මිලදී ගැනීමක් සිදු කිරීමට යාමේදී එය වැලැක්වීමට ක්‍රියාකල මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකුට දඩුවම් ලබා දීම වැනි චෝදනා ලත් පුද්ගලයකු සභිකයකු ලෙස පත් කිරීම.

3. වත්මන් ආණ්ඩුවේ සන්ධාන ගත පක්ෂයක මධ්‍යම කාරක සභිකයකු, ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයකු පත් කල සාමාජිකයන් අතර සිටී.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අරමුණු, කාර්යන් හා බලතල ක්‍රියාවට නැංවීමේදී රාජ්‍ය සේවකයින් තුල විශ්වාසය බිඳ වැටීම වැලැක්විය නොහැකි බව අවධාරණය කරමු.

ශ්‍රී ලංකා පරිපාලන සේවය, වෛද්‍ය සේවය, අතුරු වෛද්‍ය සේවය, හෙද සේවය, ගුරු සේවය, සංවර්ධන නිලධාරී සේවය ඇතුලූ සමස්ථ රාජ්‍ය සේවයේම සියලූ කාර්ය මණ්ඩල වල පත් කිරීම්. උසස් කිරීම්, විනය කටයුතු ඇතුලූ කාර්යන්ට අදාල මූලික හා ප්‍රධාන ආයතනයේ සියලූ සාමාජිකයින් ඒ සඳහා සුදුස්සන් විය යුතු වුවත් පත් කර ඇති සාමාජිකයන් අතරින් කිහිප දෙනෙකු මේ ආකාරයේ ගැටලූ සහිත පුද්ගලයින් වීම සමස්ථ රාජ්‍ය සේවයම හා රාජ්‍ය සේවකයින්ම බරපතල හෑල්ලූ කිරීමකට ලක් කිරීමක් බව පෙන්වා දෙන්නෙමු.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමාත්‍යාංශ ලේකම් වරු මගින් සිදු වන කටයුත්තක් වන අතර අමාත්‍යංශ ලේකම් වරුන්ට ඍජුව බලපෑම් කල හැකි ආයතනය වන රාජ්‍ය සේවා කොමිසමට රාජයේ සැපයුම් කරුවන් පත් කිරීම තුලින් රාජ්‍ය පාලනයේදී පවත්වාගත යුතු සංවරණය හා තුලනය බිඳවැටීමේ අවධානමක් ඇති විය හැකි බවද වැඩි දුරටත් පෙන්වා දෙන්නෙමු.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය භාරය නිසි පරිදි ඉටු කල හැකි රාජ්‍ය සේවය පිලිබඳ අත්දැකීම් සහිත ඒ සඳහා වඩාත් සුදුසු පුද්ගලයින් පත් නොකිරීම මගින් එවැනි පුද්ගලයින් සහිත ආයතන මගින් රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ගනු ලබන තීරණයන් ඉදිරියේදී ප්‍රශ්නකාරී විය හැකි බැවින් ඒ පිළිබඳව ආණ්ඩුව වගකීමෙන් ක්‍රියා කල යුතුව ඇතැයි විශ්වාස කරමු.