පාසල් ආරම්භ කරන්නේ කොවිඩ් නොවැළඳන බවට පූර්ව නිගමනයක සිටිමින්ද ?

පාසල් ආරම්භ කරන්නේ කොවිඩ් නොවැළඳන බවට පූර්ව නිගමනයක සිටිමින්ද ?

අධ්‍යාපන බලධාරීන් පාසල් පටන්ගැනීම තීරණය කිරීම සම්බන්ධයෙන් කිසිදු විධිමත් වැඩපිළිවෙලකින් තොරව කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡා කිරීමකින් තොරව හිතුමතයේ පාසල් ආරම්භ කිරීම  පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට කොවිඩ් 19 රෝගය නොවැළදෙන බවට පූර්ව නිගමනයක සිටිමින් ද? යන්න ප්‍රශ්ණ කරමින් ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් (2020.12.21) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප‍්‍රකාශ කළේ බස්නාහිර හා හුදකලා කළ ප‍්‍රදේශ හැර අනෙකුත් පාසල්වල 1-5 ශ්‍රේණි 2021 ජනවාරි මස 11 දින විවෘත කරන බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මේ ආකාරයෙන් පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණි ද විවෘත කරන බව ප‍්‍රකාශ කළ ද, නොවැම්බර් 23 සිට 6-13 ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ වුවද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක විය. මීට හේතු වී ඇත්තේ පාසල් පටන්ගැනීම සම්බන්ධයෙන් කිසිදු විධිමත් වැඩපිළිවෙලකින් තොරව කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡා කිරීමකින් තොරව හිතුමතයේ පාසල් ආරම්භ කිරීමයි. එසේම පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමේදී තම දරුවන්ට පාසල සුරක්ෂිත ස්ථානයක් බව දෙමාපියන්ට තහවුරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වීම මත පාසල්වලට දරුවන් එවීමට දෙමාපියන් කටයුතු නොකරති. ආරම්භ කළ පාසල් ද ප‍්‍රදේශ ගණනාවක නැවත වසාදැමීමට සිදු වූයේ කොවිඩ් 19 ආසාධිතයන් වාර්තා වීම මතය. මේ වන විට ද ගාල්ල නගරයේ පාසල්, උතුරු පළාතේ පාසල් 174 ක්, ති‍්‍රකුණාමලය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සහ අක්කෙරෙපත්තු, කින්නියා අධ්‍යාපන කලාපවල පාසල් වසා ඇත.

එසේම දෙසැම්බර් 23 දිනෙන් පසු නැවත ජනාවාරි 04 දින ආරම්භ වීමට නියමිත පාසල් සම්බන්ධයෙන් අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කිසිදු ප‍්‍රකාශයක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිදු නොකිරීමෙන් ද පැහැදිලි වන්නේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව කිසිදු විධිමත් වැඩපිළිවෙලක් නොමැති බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡා ඔස්සේ මෙසේ පාසල් ආරම්භ කරන බව ප‍්‍රකාශ කළ ද දිවයින පුරා පිහිටි කලාප අධ්‍යාපන කාර්යාල 99, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සමහර අංශද විවෘත කර නැත. කලාප අධ්‍යාපන කාර්යාල ඉටි කොළ ආවරණ සහිතව කටයුතු කරති. නමුත් ගුරු සහ විදුහල්පතිවරු සමාජයට නිරාවරණය වෙමින් දරුවන් හා දෙමාපියන් සමග කටයුතු කරමින් සිටී. එසේම කිසිදු කාර්යයක් සඳහා ගුරුවරුන්ට හෝ දෙමාපියන්ට එම කාර්යාලය තුළට යා නොහැකි ලෙස නිලධාරීන් කටයුතු කරමින් සිටී. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන පහළම ආයතන තමන් සමාජයට නිරාවරණය නොවී කිසිදු විධිමත් කි‍්‍රයාවලියකින් තොරව පාසල් ආරම්භ කිරීමට උපදෙස් ලබාදීම කනගාටුදායක තත්වයකි. අධ්‍යාපන බලධාරීන් මෙරට ගුරුවරුන්ට සහ පාසල් දරුවන්ට කොවිඩ් 19 නොවැළදෙන බවට පූර්ව නිගමනයක සිටිමින් මෙවැනි තීරණවලට එළඹෙන්නේ දැයි මේ තත්වය තුළ අපි ප‍්‍රශ්න කර සිටිමු.

1-5 ප‍්‍රාථමික ශ්‍රේණි ආරම්භ වන්නේ නම් පාසල් ළමුන්ගේ ප‍්‍රවාහනය, පාසල් සෞඛ්‍ය ආරක්ෂිතය යන සහිතකය මෙන්ම පාසල්වල විෂබීජහරණ කටයුතු සඳහා මුදල්  ලබාදීම ද සිදුවිය යුතුය. දෙවන පාසල් වාරය ආරම්භයේ දී විෂබීජහරණ කටයුතු සඳහා මුදල් ලබාදුන් බව අධ්‍යාපන ඇමතිවරයා සහ අධ්‍යාපන ලේකම්වරයා පුන පුනා ප‍්‍රකාශ කළ ද එම ප‍්‍රතිපාදන පාසල්වලට ලැබී නොතිබුණි.

පාසල් ආරම්භ කිරීමට ප‍්‍රථම කළ යුතු කාර්ය වන්නේ කලාප අධ්‍යාපන කාර්යාල, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ගුරුවරුන්ට, දෙමාපියන්ට සහ දරුවන්ට විවෘත ස්ථාන බවට පත් කිරීමයි. එසේම අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ද සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද සහිතව විවෘත විය යුතුය. එසේ නොකොට පාසල් විවෘත කිරීමට උත්සාහ දැරීම ඵලදායී නොවන බව ලංකා ගුරු සංගමය අද දිනයේ (2020.10.21) අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාට පෙන්වා දෙන ලදී.