සේවක අර්ථසාධක අරමුදල නොගෙවන හාම්පුතුන්ට කිසිම සමාවක් දෙන්නේ නෑ

සේවක අර්ථසාධක අරමුදල නොගෙවන හාම්පුතුන්ට කිසිම සමාවක් දෙන්නේ නෑ

සේවක අර්ථසාධක අරමුදල් පනත උල්ළංඝණය කරමින්, එම දායක මුදල් ගෙවීම් පැහැර හැර ඇති හාම්පුතුන්ට කිසිදු සමාවක් නොදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. හාම්පුතුන් දිගින් දිගටම මෙම දායක මුදල් ගෙවීම් පැහැර හැරීම පිළිබඳව මුල් නිවේදන ද රතු නිවේදනද යවා තිබියදිත් එම මුදල් නොගෙවීම බරපතල නීති උල්ලංඝණය කිරීමක් මෙන්ම, වැඩ කරන පංතියේ ජනතාවගේ මුදල් වංචා කිරීමක් බව ද අමාත්‍යවරයා පවසයි.

සේවක අර්ථසාධක පනත උල්ළංඝණය කිරීම් පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට එරෙහිව පසුගිය රජය සමයේ සිට 2020 ජනවාරි 01 දා වනතෙක් නඩු 11549 පවරා තිබූ බවත්, එසේම අක්‍රීය නඩු ද ඇතුලත්ව අර්ථසාධක දායක මුදල් ගෙවීම් පැහැර හැර ඇති නඩු 16,000 ක් මහේස්ත්‍රාත් අධිකරණවල මේ වනවිට ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දෙයි.

මෙසේ අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් පැහැර හැරීම් දළ වශයෙන් රුපියල් බිලියන 12 ට ආසන්න බව පෙන්වා දෙන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, මේ තුළින් සිය ශ්‍රමය රට වෙනුවෙන කැප කළ සේවක ප්‍රජාවට සාධාරණය ඉටු කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණවල පවතින දැඩි තදබදය ද සලකා බලා මෙම අර්ථසාධක පැහැර හැරීම් නඩු ඉදිරියේ දි කම්කරු විනිශ්චය සභා වෙත යොමු කොට ඉක්මනින් මුදල් අය කරවා ගැනීමට අදාලව 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි පවසයි.

එසේම සේවකයෙකු ආයතනයක සේවයට බැඳී නිශ්චිත කාලයක් තුළ අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිය අනිවාර්ය කිරීමට ද නීති ගෙන එන බව අමාත්‍යවරයා පවසයි.මෙම කාලය මාස හයක් ලෙස යෝජනා කරන බව ද අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය නිසා ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණපෑමට සිදු වූ ආයතන ගණනාවක් සිය අර්ථසධක දායක මුදල් ගෙවීම් සඳහා සහන කාලයක් ඉල්ලා ඇති බවත්, ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන කරුණු සහිත ඉල්ලීම් පිළිබදව සුපරික්ෂාකාරීව පරික්ෂා කර බලා,සත්‍ය වශයෙන්ම කොවිඩ් වසංගතයේ බලපෑමට ලක් වූ ආයතන කෙරෙහි සානුකම්පිතව සලකා බලා ඔවුන් සමඟ එම හාම්පුතුන් සමඟ සාකච්ඡා කර එම හිඟ දායක මුදල් ගෙවීම සඳහා යම් කාල පරාසයක් ලබාදීමට ගරු අමතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.