නැගෙනහිර ජැටියේ සටන-සාකච්ඡා අසාර්ථකවීමෙන් පසු සිදුවන්නේ කුමක්ද?

නැගෙනහිර ජැටියේ සටන-සාකච්ඡා අසාර්ථකවීමෙන් පසු සිදුවන්නේ කුමක්ද?
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි. වරාය වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූයේ ඊයේ  පසුගිය 13 වෙනි දින දහවල් ජනාධිපති කාර්යාලයේදීය. සාකච්ඡාවට කොළඹ වරායේ වෘත්තීය සමිති නියෝජිතයින් 12 දෙනෙකු සහභාගී වී සිටි බව සඳහන්ය. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව ඒකී සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කරන ලදී.
 
කෙසේ වුවද, මෙම සාකච්ඡාවන්ගෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශය විසින්ද ඒ් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට පැහැදිළි කළ බව ඒකී නිවේදනයෙන් කියැවිණි. පසුගිය රජය විසින් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබූ බවත්, විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් වූ බවත්,  ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබාගැනීමේ එකඟතාවට පැමිණීමට හැකිවූ බව එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන් බව මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
 
මේ අතර මේවන විට ගැටළුව මතුව ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වුවද, ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ හම්බන්තොට වරාය ගැනද සඳහන් විය. පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබූ බවද තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බවද  එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ. අනෙක් අතට නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, ආදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව යැයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
 
ජනාධිපතිවරයා වෘත්තීය සමිති නියෝජිතයින් හමුවේ පැවසූ පරිදි නැගෙනහිර පර්යන්තය ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින්  66%කට ඉන්දියාව දායක වෙයි. 9% බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රතිඅපනයනයන්ය. 
 
ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම වී තිබේ. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුන් බව එකී නිවේදනයේ දැක්වෙයි.
 
කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් වරාය සේවක සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිති 23ක් මේ වන විටත් වෘත්තීය සමිති එකමුතුවක් ලෙස සංවිධානය වී තිබේ. ඔවුන් සිය අරගලය අඛණ්ඩව කරගෙන යාමට තීරණය කර තිබීම අතිශය වැදගත්ය. වරාය නිදහස් සේවක සංගමයේ සභාපති, ප්‍රසන්ත කළුතරගේ මහතාගෙන් 'වැඩබිම' කළ විමසීමකදී ඔහු, ඒ් පිළිබඳ කියා සිටියේ මෙවැන්නකි.
 
"ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වුණේ නැගෙනහිර පර්යන්තය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමටයි. නමුත් ඒ් බලාපොරොත්තුව ඉටු වුණේ නෑ. ජනාධිපතිවරයා මේක 51%යි 49% විදිහට ඉන්දියාවට දෙන තීරණයේ තමා දැඩිව ඉන්නෙ. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ සමහර කරුණු කාරණා නිවරදි තොරතුරු මත පදනම් වූ ඒ්වා නෙවෙයි. කවුරු හරි විසින් ජනාධිපතිවරයාට ලබාදුන් වැරදි තොරතුරු. අපි කොහොමත් මේ වෘත්තීය සමිති 23න් යුතුව ඒකමුතුව ගොඩනැඟුවේ 1%ක හෝ කොටසක් විකුණනවා නම් අපි ඒ්තට එරෙහිව සටන් කරන බවට ශපථ කරමින්. අනෙක් අතට අපි ජාතික බලවේගයක් පිහිටෙව්වා. රටේ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘත්තීය සමිති ඒ්කරාශි කරගනිමින්. එතනදිත් අපි ඒ් හැමෝගෙන්ම නැගෙනහිර පර්යන්තගේ කොටසක් හෝ විකිණීමට විරුද්ධ බවට ප්‍රතිඥාවක් ගත්තා. ඒ් නිසා අපට දැන් මේ නැගෙනහිර පර්යන්තය කොටස් කර විකුණනවාට හෝ බදුදෙනවාට හෝ කිසි සේත්ම එකඟ වෙන්නට බෑ. ඒ්ක නිසා මේ රජයේ උත්සාහය පරාජය කිරීම වෙනුවෙන් අපට හැකි සෑම ආකාරයකින්ම වරාය අධිකාරිය තුළත්, ඉන් පිටතත් විරෝධතා ක්‍රියා මාර්ග දියත් කරන්න බලාපොරොත්තු වෙනවා"
 
මේ අතර ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ මහතා ද ඒ් පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
 
"අපි ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡා අසාර්ථකයි. ජනාධිපතිවරයා සඳහන් කරන ආකාරයට ඉන්දියාව නැති වුණොත් මේ බිස්නස් ඒක නැතිවෙනවා. ඒ්ක ඒහෙම නැති වෙන්නෙ නෑ. මේක ඉන්දියාවට කරන්න පුළුවන් බිස්නස් ඒකක් නෙවෙයි. අපේ වරාය ස්ථානගත වී ඇත්තේ නාවුක සිතියමේ මර්මස්ථානයක. අපව මගහැර කාටවත් කොහෙවත් යන්න බෑ. අපි ඒ් ගැන කරුණු කීවාට ජනාධිපතිවරයා ඒ් දේවල් පිළිගන්න සූදානම් වුණේ නෑ. තමන් තමයි මේක ඉන්දියාවට දෙන බවට පොරොන්දු වුණේ කියන ඒකත් ජනාධිපතිවරයා කියා සිටියා. කලින් රජය සූදානම් වූ ආකාරයට ජපානයෙන් ණයක් අරන් ඒ් ණය පියවන්න කටයුතු කිරීමට තිබුණු සැලසුම වෙනස් කරමින් 49%ක් දෙන ඒක වාසියි කියන ඒක තමා ඒතුමා කියන්නෙ. ණයක් අරන් සංවර්ධනය කළා නම් අපිට තියෙන්නෙ ණය ගෙවන්න විතරයි. ඒ්ත් මේකෙන් 49%ක් ඉන්දියාවට දුන්නම  අපට වරාය අධිකාරිය හැටියට කිසි දෙයක් කරන්න වෙන්නෙ නෑ. ඒ අය මෑන් පවර් සේවකයින් තමා මේකට දාන්නෙ. අපි කියන්නේ 100%ක්ම මේකෙ අයිතිය ශ්‍රී ලංකාවට, වරාය අධිකාරියට තිබිය යුතුයි කියන ස්ථාවරයේ තමා අපි ඉන්නෙ. ඒ් අනුව අපි වරාය, ජාතිය සතු කරගැනීමේ අරගලය නොනවත්වාම ගෙනියනවා. සයිටම් වලට එරෙහි වූ ව්‍යාපාරය වැනි බහුජන ව්‍යාපාරයක් හැටියට අපි මේක ජයග්‍රහණය තෙක් ගෙනියනවා."