සිංහ බලු වූ නැගෙනහිර පර්යන්තය

සිංහ බලු වූ නැගෙනහිර පර්යන්තය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක කොටස් අයිතිය ඉන්දියාවට ලබාදෙන බව ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ තහවුරු කර ඇත.
ඒ වරාය වෘත්තීය සමිති සමඟ ජනවාරි 13 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

ජනාධිපතිවරයාගේ එම ඉල්ලීමට වරාය වෘත්තීය සමිති එකඟතාව පලකර නැති අතර ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ 100%ක්ම වරාය අධිකාරියෙන් එම පර්යන්තයේ කටයුතු සිදුකළ යුතු බවයි. ඒ නිසා එම සාකච්ඡාව අසාර්ථක වී ඇත.

වෘත්තීය සමිතිවලට ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කර තිබුණද අගමැති මහින්ද රාජපක්ෂ ඊට සතියකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට නැගෙනහිර පර්යන්තයේ කොටස් අයිතිය හෝ වෙනත් අයිතියක් ලබාදීමේ කිසිදු තීරණයක් නැති බවය.

මේ මගින් ජනාධිපති මල්ලී සිදුකර ඇත්තේ අගමැති අයියා පාර්ලිමේන්තුවට බොරු කී බව රටට කීමය.

මෙම සාකච්ඡාව වරාය වෘත්තීය සමිති ඉල්ලූ සාකච්ඡාවක් නොවන අතර ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු දැනුම්දීමක් අනුව කළ සාකච්ඡාවකි. ජනවාරි 11 දින නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් වරාය වෘත්තීය සමිති භික්ෂු සංවිධාන, කතෝලික සභාව, ආණ්ඩුව බලයට පත්කිරීමට දරදිය ඇදි ජාතිකවාදීන් සම්බන්ධ කරගනිමින් පුළුල් සභාවක් ගොඩනැඟීම මෙම ඉක්මන් සාකච්ඡාව ලබාදීමට හේතුවී තිබුණී.

නැගෙනහිර පර්යන්තය වරායේ අයිතියේම තබාගන්නා ලෙස ඉල්ලමින් පසුගිය මහා මැතිවරණයට පෙර වරාය වෘත්තීය සමිති සත්‍යග්‍රහයක නිරතවෙමින් වැඩ වර්ජනය කරද්දී ඉල්ලූ සාකච්ඡා එදා ජනාධිපතිවරයා ලබාදුන්නේ නැත. ඒ වෙනුවට ඔහු පසුගිය දෙසැම්බරයේ සිට කළේ වරාය වෘත්තීය සමිති වැඩවර්ජන වළකාලමින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස වරාය කටයුතු නම් කරමින් මේ දක්වා පවත්වාගෙන යෑමය.

ජනාධිපතිවරණයට පෙර ජාතිකාභිමානි සළුපිළි පොරවා ගනිමින් වරාය නැගෙනහිර පර්යන්තය ගැන සිංහනාද දැමුවද දැන් ඉන්දියාව හමුවේ කොටි මැරුවා යැයි කියන සිංහයන් බලුවී ඇති බව කරන කියන මේ දේවලින් පෙනේ.

කොටස් අයිතිය ලබාදෙනවා යැයි, ආයෝජන යැයි හෝ බීඕටී හෙවත් ඉදිකර මෙහෙයවා ආපසු ලබාදෙනවා යන මොන ආකාරයෙන් කීවත් සිදුවීමට නියමිතව ඇත්තේ නැගෙනහිර පර්යන්තය මෙහෙයවීමේ අයිතිය වසර ගණනාවකට හෝ දීර්ඝ කාලයකට විදේශ රටකට හෝ එම රට නිර්දේශ කරන සමාගමකට ලබාදීමය.

ඉදිකර මෙහෙයවා නිශ්චිත වසර ගණනකදී නැවත ලබාදෙනවා යැයි කියන ආයෝජන කියූ ලෙසම ලැබී නැති බව ත්‍රිකුණාමල පිටි කම්මල් ගිවිසුම අපට පාඩම් කියාදී ඇත. චීනයට ලබාදී ඇති කොළඹ දකුණු වරාය සම්බන්ධයෙන්ද අනාගතයේදී අපට එය දැකගන්නට ලැබෙනු ඇත. මන්ද අවුරුදු තිස්පහක කාලයකින් ආපසු යන්නට චීනය සූදානම් යැයි නොසිතෙන නිසාය. සිංහයන්ටත් මෙසේ වී ඇති විට ඉන්දියාව ගිවිසුම දික්කරමු යැයි කී කළ එයට එරෙහි විය හැකි සිංහයන් හමුවේදැයි සැක සහිත නිසාය.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදෙන්නේ කිනම් ක්‍රමයකටද යන්න දැනට නිශ්චිත නැතත් අන් රටවල් මෙන්ම ඉන්දියාවද නැගෙනහිර පර්යන්තය නිශ්චිත කාලයකදී අත්හැර දමා ලෙහෙසියෙන් නොයන බව නම් නිශ්චිතය.

ලසන්ත රුහුණගේ - anidda