සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වැළඳී ඇතැයි "ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වෙයි"

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වැළඳී ඇතැයි "ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වෙයි"

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් (Rapid Antigen Test) තහවුරු වී තිබෙන බව විශ්වාසදායක ආරංචි මාර්ග බීබීසී සිංහල සේවයට පැවසීය.

ඇයට කෝවිඩ් 19 ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණය මගින් අනාවරණය වුවද, සිකුරාදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ.

එහෙත් ඇයගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මෙතෙක් නිළවශයෙන් කිසිවක් නිවේදනය කර නොමැත.

මේ වන විට අමාත්‍යවරුන් තිදෙනෙකුද ඇතුළුව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සහ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ඒ අතර සිටිති.

පසුගිය ජනවාරි 08 වෙනි දින කොරෝනාවෛරසය ආසාදනය වූ බව තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සිටියි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජනවාරි 08 වෙනි දින සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනක්

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජනවාරි 08 වෙනි දින සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනක්
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජනවාරි 08 වෙනි දින සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනක්

PCR පරීක්ෂණයෙන් ද තහවුරු වුවහොත්, සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදිත පැණිය ප්‍රසිද්ධියේ පානය මන්ත්‍රීවරුන් අතරින් කෝවිඩ්19 රෝගය වැළඳුණ දෙවන අමාත්‍යවරයාය.

ඇමැතිනියගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ විමසීම පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව කියා සිටියේ, ඒ පිළිබඳව තමන් දැනුවත් නොමැති බවය.

ජාත්‍යන්තර වශයෙන් සිදුකරන ලද සායනික පරීක්ෂණ වලින් පසුව අනුමත කරන ලද කොරෝනා වෛරසයට එරෙහි එන්නත් පිළිබඳව අවධානය පළ නොකොට ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවන එලියන්ත වයිට් නම් පුද්ගලයාගේ උපදෙස් පිට පිරිත් පැන් පිරවූ මුට්ටි ගංගා වලට මුදාහැරීමට මුල්තැනක් දීම හේතුවෙන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ගේ ක්‍රියා කලාපය පසුගිය දා මහත් ආන්දෝලනයට ලක්විය.

(bbc-sandeshaya)