‘බ්‍රිතාන්‍ය ප්‍රභේදය’ ව්‍යාප්තියේ වරද සහ වගකීම ‘සෞඛ්‍ය ලොක්කෝ’ ජනතාව මතට පැටවීම

Health-News

එක්සත් රාජධානියේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනා ගැනීමට හැකි වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවා.

ජනවාරි මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා ජෛව සාම්පල් 92 ක් මෙම ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා යොමු කළ බවයි ඔහු සඳහන් කළේ. අනෙකුත් ප්‍රභේදවලට වඩා 50% ක වැඩි වේගයකින් මේ වෛරස ප්‍රභේදය පැතිර යන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර මේ වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හතරක කොවිඩ් නව ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වෙිමින් පවතින බවත් එය එංගලන්ත ප්‍රභේදය විය හැකි බවට සැක කළ හැකි බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය (12) දින මාධ්‍ය හමුවේ හෙළි කළා.

මෙම නව ප්‍රභේදය සොයා ගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛරසවේද පර්යේෂකයන් විසින් බව ද වාර්තා වෙනවා.

මෙම නව වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ වන්නේ, කොළඹ නගර සභා සීමාව, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශයි.

මේ නව වෛරස් ප්‍රභේදය ගැන සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමු කරද්දී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කළ ප්‍රකාශයක් සමාජමාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

ඊයේ මාධ්‍ය හමුවේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ “අප කොපමණ කීවත් ජනතාව සංචරණය සීමා කරන්නේ නැහැ. රෝගය පැතිරෙන්නේ ඒ නිසයි. ඒකට විසඳුමක් ලෙස රටම වහල දාන්නත් බෑ‘

මේ ප්‍රකාශයේ සරල අදහස වන්නේ ‘ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා නව ප්‍රභේදය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට කිරීමට වැඩිමනත් දෙයක් නැති බවයි‘

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ බිය සැක

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන්ගේ සංගමය ද  (12) දින මාධ්‍ය හමුවක් කැදවා තවත් ආන්දෝලනාත්මක පුවතක් හෙළි කළා.

PCR පරීක්ෂණ සිදුකරන ආයතනයන් ගේ ඇතැම් නිලධාරීන්ට සහ සෞඛ්‍යය අංශයේ සැලකිය යුතු පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවා.

‘‘ PCR පරීක්ෂණ ප්‍රතිඵල දින ගණනාවකින් ප්‍රමාද වෙනවා. ඒ සමග ආසාදිතයන් බවට පත්වන පුද්ගලයන් සඳහා ප්‍රතිකාර කිරීමේ යාන්ත්‍රණය බිඳවැටෙමින් තිබෙනවා. සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ හොත් මෙය දැඩි බලපෑමක් කොරෝනා මර්දනය ට එල්ල කරනු ඇති බව අපගේ අදහසයි‘ ඔහු සදහන් කළා.