එංගලන්තේ එහෙම උනාට - ලංකාවේ එහෙම වෙන්නේ නෑ

එංගලන්තේ එහෙම උනාට - ලංකාවේ එහෙම වෙන්නේ නෑ

අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය, එක්සත් රාජධානිය තුල ව්‍යාප්ත වන බව සොයාගත් දිනයේදීම, එංගලන්තයට පනවා තිබූ සංචරණ සීමාව ශ්‍රී ලංකාව විසින් ඉවත් කිරීම වසංගත රෝග අංශයේ උපදෙස් පරිදි සිදුකරන ලද්දක් ද යන්න රටට පැහැදිලිවිය යුතුයි.

කොවිෂීල්ඩ් එන්නත පමණක් පදනම්ව සිදු කරමින් සිටින ශ්‍රී ලාංකේය කොරෝනා මර්ධන ව්‍යාපාරය හමුවේ, කොවිෂීල්ඩ් මගින් මර්ධනය කල නොහැකි බව තහවුරු කර ඇති 'දකුණු අප්‍රිකානු ප්‍රභේදය' පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුය.

ප්‍රභේද හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් අවිධිමත්. ජනවාරි මාසය තුළ හදුනාගත් විසි දහසක පමණ රෝගීන් ප්‍රමාණයකින්, අවිධිමත්ව තෝරගත් සියයකටත් වඩා අඩු සංඛ්‍යාවක පරීක්ෂණ කිසිසේතම සංඛ්‍යාත්මකව ප්‍රමාණවත් නැත. එමගින් දාසය දෙනෙකු පමණ නව ප්‍රභේද ලෙස හදුනා ගැනීම සාමාන්‍ය තත්වයක්ද නොවේ. එය, රට ම නියෝජනය වන ආකාරයෙන් සිදු කරන ජාතික මට්ටමේ පර්යේෂණයක් ද නොවේ. එබැවින් ඒ මත පදනම්ව ප්‍රභේද පිළිබද ජාතික තීරණ ගැනීම, බරපතළ වරදක් විය හැකිය.

ප්‍රභේද හඳුනා ගැනීම ඇතුළු පර්යේෂණ කිරීමේ වගකීම වෛද්‍ය පර්යේෂණ ආයතනය සතු මූලික රාජකාරියක් වුව ද ඔවුන් එම වගකීම පැහැර හැර ඇත. ප්‍රභේද හදුනා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු රසායනාගාරයට ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක් ලබා නොදීමට තරම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය අපොහොසත් වීම බරපතල නොසලකා හැරීමක්.

ගුවන්තොටුපල රසායනාගාරයට, ගුවන් මගීන්ගේ කිසිදු PCR නිදර්ශකයක් ලැබෙන්නේ නැත. PCR පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කර 25% ක වට්ටමක් ලබා ගැනීම, රෝගීන්ට කරන අසාධාරණයකි. ගුවන් තොටුපළට 100% ක ලාභය ලබා ගැනීම සඳහා ගුවන්තොටුපල රසායනාගාරය භාවිත නොකරන්නේ කිනම් හේතුව නිසාද යන්න පැහැදිලි නැත.

මිලියන සියයක් වටිනා කොවිඩ් පරීක්ෂණ යන්ත්‍රයක් ගුවන්තොටුපල රසායනාගාරය වෙත පරිත්‍යාග වශයෙන් ලැබී තිබියදී පවා, එය ස්ථාපිත නොකරමින් එම රසායනාගාරයේ කටයුතු අඩාල කිරීම සදහා කටයුතු කරමින් සිටී. එම යන්ත්‍රය මගින් විනාඩි අනූවක පමණ කාලයක් තුළදී PCR පරීක්ෂණ වාර්තාවක් ලබා දිය හැකිව තිබියදී, පෞද්ගලික අංශයට යොමු කරන PCR පරීක්ෂණ වාර්තා සඳහා සංචාරකයන්ට සහ ගුවන් මගීන්ට පැය 48ක ප්‍රමාදයක් සිදුවන අතර, විශාල මුදලක් ගෙවීමට ද සිදුව තිබේ.

රවී කුමුදේශ්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය