පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෛද්‍ය පීඨයක් බවට පත්කිරීම අටුව කඩා පුටුව හැදීමක්

පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෛද්‍ය පීඨයක් බවට පත්කිරීම අටුව කඩා පුටුව හැදීමක්

පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කිරීමේ සැලැස්මට ලංකා ගුරු සංගමයේ විරෝධය පළකරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මාරි මියුසියස් මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද අක්කර 42 ක භූමිභාගයක පිහිටුවා ඇති විද්‍යාපීඨයකි. මෙය කළුතර ඉංගී‍්‍රසි ගුරු විදුහල ලෙස ප‍්‍රකටව පැවති අතර, 1985 වසරේ දී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් බවට පත් කරන ලදී. පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් පාසල් පද්ධතියට ඉංගී‍්‍රසි ගුරුවරු පුහුණු කිරීම සිදුකරයි. එවැනි වටිනාකමක් සහිත විද්‍යාපීඨය වෛද්‍ය පීඨයක් බවට පත් කිරීම අටුව කඩා පුටුව සෑදීම වැනි ක‍්‍රියාමාර්ගයකි.

පසුගිය දිනක කළුතර දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ඇමතිවරයෙකු වූ රෝහිත අබේගුණවර්ධන, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නෙරන්ජන් ගුණවර්ධන, කළුතර උප දිසාපති ඇතුළු පිරිසක් මෙම කටයුත්ත සඳහා විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවක යෙදී ඇත. මොරටුව විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඇති කිරීම සම්බන්ධයෙන් ගැටලූවක් නැත. තවත් වෛද්‍ය පීඨයක් ඇති කළ යුතු බව ද අපි පිළිගනිමු. නමුත් පාසල් පද්ධතියට ගුරුවරු බිහිකරන විද්‍යාපීඨයක් වසා වෛද්‍ය පීඨයක් බිහි කිරීම විහිළුවකි. මෙම කටයුත්තට මුලපුරා ඇත්තේ රෝහිත අබේගුණවර්ධන මහතා බව ඔහුගේ ප‍්‍රචාරක ව්‍යාපෘතියෙන් මනාව පැහැදිලි වේ. මෙවැනි දේශපාලකයින්ගේ බාල ජනපි‍්‍රයතාවය වෙනුවෙන් අධ්‍යාපනයට සම්බන්ධ තීන්දු තීරණ ගැනීම කනගාටුදායක තත්වයකි. සාමාන්‍ය අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපන විෂය ද භාර මහාචාර්ය ජී.එල්. පීරිස් මෙන්ම ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ද සිටියදී රෝහිත අබේගුණවර්ධන වැනි ඇමතිවරයෙකු තම විෂය පථයට අයත් නොවන කටයුත්තක් වෙනුවෙන් පාසල් පද්ධතියට ගුරුවරු බිහිකරන අධ්‍යාපන විද්‍යාපීඨයක් වසා දැමීමට කටයුතු යෙදීම ‘සෞභාග්‍ය දැක්මේ’ කි‍්‍රයා පිළිවෙත දැයි සැකයක් මතු වේ.

පාසල් පද්ධතියේ පවතින ගුරු ගැටලූවට පිළියම් පිණිස ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තවදුරටත් වැඩිකළ යුතුව තිබියදී පවතින විද්‍යාපීඨයක් මේ ආකාරයෙන් වෛද්‍ය පීඨයකට මුවා වී වසා දැමීම පාසල් පද්ධතියට සිදු කරන බරපතල විනාශයකි.

මේ තත්වය මත පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෛද්‍ය පීඨයක් කිරීමේ සැලසුම වහා නතර කළ යුතුය. එසේ නොවන්නේ නම් පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ මේ වන විට ඉගෙනුම ලබන සහ පෙර ඉගෙනුම ලැබූ සියලූ දෙනා එක්ව මේ සම්බන්ධයෙන් විරෝධතා කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටී.

මේ වන විට දිවයින පුරා පවතින ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 ම කොරෝනා රෝගීන් වෙනුවෙන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර ඇති අතර, එම පීඨවල ඉගෙනුම ලබන ගුරු සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වී ඇත. මේ තත්වය තුළ මෙම විද්‍යාපීඨවල අධ්‍යයන කටයුතු වහා ආරම්භ කිරීමට පියවර ගත යුතු බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටිමු.