අගමැතිගෙන් රේගු වෘත්තීය සමිති ගැටලුවලට විසඳුම්

sri lanka customs

ශ්‍රි ලංකා රේගුවේ පවතින වෘත්තිය සමිති ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර එම ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) දින පස්වරුවේ භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් දුන්නේය.

රේගු වෘත්තීය සමිති සන්ධානය සමඟ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය හමුවේ පවතින ගැටලු මෙන්ම රේගුවේ වර්තමානයේ පවතින අඩුපාඩු විසඳීමට ගත හැකි ක්‍රියාමාර්ග හා යෝජනා ඇතුළත් වාර්තා දෙකක් මෙහි දී රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සභාපති රේගු අධ්‍යක්ෂ ජී.වී.යූ.ඩී සිල්වා මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වනු ලැබුවේය.

2020 පෙබරවාරි මස රේගු වෘත්තීය සමිති සන්ධානය විසින් අතිගරු ජනාධිපතිවරයා වෙත භාරදුන් යෝජනාවලිය හා ඒ සම්බන්ධයෙන් එතුමා පත් කරන ලද කමිටුව, 2020 මාර්තු මස ජනාධිපති ලේකම්වරයා විසින් පත්කරන ලද රේගු ප්‍රතිසංවිධාන හා නවීකරණ කමිටුව සහ 2020 දෙසැම්බර් මස ජනාධිපති ලේකම්වරයා විසින් සියලුම රේගු නිලධාරීන් වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධව රේගු වෘත්තිය සමිති සන්ධානයේ අදහස් මෙම හමුවේ දී නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ උදිත ජයසිංහ මහතා විසින් පැහැදිළි කරන ලදි.

රේගු නිලධාරින්ගේ දැනට පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ අවසන් නිර්දේශයන් පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ප්‍රමාද වී ඇත්නම් ඒ ගැන සොයා බලන්නැයි අග්‍රාමාත්‍යතුමා රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය මහතාට දැනුම් දුන්නේය.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අදාළ කරුණු පිළිබඳව විමසීමක් කොට ඒ ගැන භාණ්ඩාගාර ලේකම්තුමා දැනුවත් කරන බව ජී.වී රවිප්‍රිය මහතා පැවසුවේය. එම ගැටලුව විසඳා ගැනීම ඔස්සේ රේගුවේ පවතින නිලධාරීන්ගේ පුරප්පාඩු පියවීමට නියමිතය.

සේවක උසස්වීම් සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් ද මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය. පුරප්පාඩුවන තනතුරු සඳහා ආයතන මට්ටමෙන්ම ක්‍රියාකළ හැකි අකාරය දැනට දන්වා යවා තිබෙන බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා පැහැදිලි කළේය.