සියලු ලංගම උප ඩිපෝ වසා දැමීමේ උත්සාහයක්

ctb-depot

ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් ශ්‍රී ලංගම උප ඩිපෝවල් සියල්ලම වසා දමා ශ්‍රී ලංගම විනාශ කිරීමේ කුමන්ත්‍රණය වැලැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් ලිපියක් යවමින් ඉල්ලා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

අවුරුදු 05 කට වැඩි කාලයක් සේවය කරන ලද කොන්ත්‍රාත් පදනමේ සේවකයින් ස්ථීර කරන බවටත් ශ්‍රී ලංගම සියළුම උප ඩිපෝවල් සියල්ලම වසා දමන බවටත් ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මහතා විසින් ප‍්‍රකාශ කළ බව 2021 මාර්තු 26 දින ජාතික පුවත්පත් වල පලවී තිබුණි. එම ප්‍රකාශයේ පිටපතක් ඔබතුමාගේ අවධානය මේ සමඟ අමුණා එවන්නෙමු.

ශ්‍රී ලංගමය ශක්තිමත් කිරීම යනු සේවකයන් ප්‍රමාණයන් වැඩිකළ යුතුය. බස්රථ ප්‍රමාණය වැඩිකළ යුතුය. ඩිපෝ, ආයතන, වැඩපලවල් ප්‍රමාණය වැඩිකළ යුතුය. මගී ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ අනාගතයේ දී පළමුවැන්නා බවට ශ්‍රී ලංගමය පත්කළ යුතුය. නුමුත් 1977 සිට මේ දක්වා බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම සිදුකර ඇත්තේ ශ්‍රී ලංගම විනාශ කිරීමේ ක්‍රියාවලියයි. 1977 හැත්තෑ දහසකට (70,000) වැඩි සේවකයින් ප්‍රමාණය අද වනවිට තිස්දහකට (30,000) අඩුකර ඇත්තේත්, නමදහස් දෙසීයක (9,200) බස්රථ ප්‍රමාණය අද වනවිට හයදාහ (6,000) දක්වා අඩුකර ඇත්තේත්, ඩිපෝවල් ආයතනවල් වැඩපොලවල් අඩුකර ඇත්තේත් ශ්‍රී ලංගමය විනාශ කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය.

ගරු ජනාධිපති තුමණි, ශ්‍රී ලංගමය යනු මුදල් උපයා ලාබ ලබන ව්‍යාපාරයක් නොව අධ්‍යාපන, සෞඛ්‍ය, දුම්රිය හා සමානවම සේවාවක් කරනු ලබන ආයතනයක්ය. ශ්‍රී ලංගමයට යොදවන මුදල අනාගත ආයෝජනයක් වේ. එමනිසාම මහා භාණ්ඩාගාරය මගින් ශ්‍රී ලංගමයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අනිවාර්යෙන්ම ලබාදිය යුතුමය. මේ බව තේරුම් නොගත් ප්‍රවාහන ඇමති තුමා විසින් ශ්‍රී ලංගම සියළුම උප ඩිපෝවල් වසා දමා ශ්‍රී ලංගම විනාශ කිරීමේ කුමන්ත්‍රණය වලක්වාලීමට කඩිනමින් මැදිහත් වන ලෙස වගකිව යුතු වෘත්තීය සමිතියක් වශයෙන් අප සංගමය ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.