අපේ ප්‍රතිපත්තිය කම්කරු ශ්‍රමිකයන් වෙනුවට කුසලතාපූර්ණ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමයි - තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මහතා

අපේ ප්‍රතිපත්තිය කම්කරු ශ්‍රමිකයන් වෙනුවට කුසලතාපූර්ණ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමයි - තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මහතා

නිදහස ලබා වසර 73ක් ගත වුවත් මෙතෙක් බලයට පත් වූ සියලුම ආණ්ඩු සංවර්ධනය යැයි කියා කළේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීමයි. එමනිසා අපි ආණ්ඩුවක් ලෙස යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට සමඟාමීව මානව සම්පත සංවර්ධනය කිරිමට කටයුතු ආරම්භ කළා. ඊළඟ පරම්පරාවට අපේ රට ගොඩනගන්න අපි මේ ගෙනයන වැඩපිළිවෙළ ශක්තියක් වන බව අපි විශ්වාස කරනවා. තරුණ පරපුරට අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් සමඟ නවීන තාක්ෂණ දැනුම සමඟ නිපුණතාව ගොඩනගාගත හැකි වැඩසටහන් අපි ආරම්භ කර තිබෙනවා.

අපේ ප්‍රතිපත්තිය ආණ්ඩුවක් ලෙස කම්කරු ශ්‍රමිකයන් වෙනුවට කුසලතා පූර්ණ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමයි. ඔවුන් ගිවිසුම්ගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ නිසි අවධානය යොමු කර විදෙස් රැකියාවලට යොමු කිරීමයි. සමාජීය සුබ සාධනය වෙනුවෙන් තරුණ අමාත්‍යාංශය හා බැදුණු අමාත්‍යාංශ රාශියක් මෙම සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා යැයි අමාත්‍යවරයා මෙහි දී හෙළි කළේය. මඩකලපුව දිස්ත්‍රික්කය තුළ 14,000ක පමණ පිරිසක් විදෙස් රැකියාවලට යොමුව තිබෙන අතර ඉන් 70%ක් පමණ ශ්‍රමික පිරිසක් ඉතා අඩු වැටුපක් යටතේ සේවයේ යෙදෙති.

එහිදී හඳුනාගත් ගැටලු සඳහා පිළියම් ලබාදීම ද මෙහි දී සිදුවිය.

01. මඩකලපුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05 තුළම ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය ඇතුඵ විෂයයන් සඳහා ගුරු පුරප්පාඩු 617ක් සහ

02. අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පති පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ද ඇතුඵව මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යාපන කලාප තුළ බොහෝ ගැටලු රැසක් ඇති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අදහස් දක්වමින් කියා සිටියේය.

03. එමෙන්ම දීර්ඝ කාලයක් පුරා පැවති යුද්ධය හේතුවෙන් භෞතික සම්පත් ගොඩනඟා ගැනීම ද දුෂ්කර වී ඇති බවත් පාසල් ගොඩනැගිලි හා ඩෙස් බංකු හිඟයක් ද පවතින බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සංචාරයක නිරත වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා එම පාසල්වල පවතින ගැටලු හදුනාගෙන අඩක් නිම කර ඇති පාසල් ගොඩනැගිලි සම්පූර්ණ කිරීමට ප්‍රතිපාදන වෙන් කරන බව මෙහිදී පැවසීය.

එසේම මඩකලපුව දිස්ත්‍රික්කයේ සුදුසු ගොඩනැගිල්ලක් තුළ වත්මන් රජයේ රැකියා දස ලක්ෂයේ සිටින සුදුසු කාර්මිකයන් තෝරාගෙන ඩෙස් බංකු අඩුපාඩු පවතින පාසල්වලට අවශ්‍ය ඩෙස් බංකු අලුත්වැඩියා කිරිමට සහ අලුතින් ඩෙස් බංකු නිපදවීමට වැඩපිළිවෙලක් යෙදිය හැකි බවත් ප්‍රකාශ කළේය.

අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිරියේ දී කටයුතු කරන බව දැන්වීය.
04. නැගෙනහිර විශ්ව විද්‍යාලය තුළ හින්දු අධ්‍යාපන පීඨයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කර දෙන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත එම ඉල්ලීම ඉදිරිපත් කර අවශ්‍ය කටයුතු සූදානම් කිරිමට කටයුතු සැලසීය.

05. සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ සුවිශේෂී කාර්යභාරයක් වන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල්වල සංවර්ධනය උදෙසා ඒවායේ සේවයේ නියුතු උපදේශක මහත්ම මහත්මීන් ගෙන්වා විෂයභාර අමාත්‍යවරයා විසින් එම පෙර පාසල්වල හඳුනාගත් අඩුපාඩු සැපිරීමට පළාත් සභාවෙන් ලැබෙන මුදල් ප්‍රතිපාදනවලට අමතරව මධ්‍යම ආණ්ඩුවෙන් මුදල් ප්‍රතිපාදන තීරණය විය.

පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඇති බවත් කඩිනමින් එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම සාකච්ඡාවේදී සඳහන් කෙරිණි.

06. මඩකලපු දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පවතින අඩුපාඩු, ගොඩනැගිලි සංවර්ධනය හා
අත්‍යාවශ්‍ය උපකරණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මූලික අදියරේ දී රු. මිලියන 60ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව මෙහි දී ප්‍රකාශවිය.

07. ජපානයෙන් ලැබී තිබෙන රැකියා අවස්ථාවන් වෙනුවෙන් ජපන් භාෂා පුහුණු කටයුතු සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ඇති භාෂා පුහුණු මධ්‍යස්ථාන පුඵල් කිරීමටත් එවැනි මධ්‍යස්ථාන නොමැති ප්‍රදේශවල පාසල් කාලයෙන් පසු එම පාසල් ගොඩනැඟිලි පුහුණු මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමටත් විදේශ නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදීම මෙහි දී සිදුවිය.

08. මේ ආකාරයට මඩකලපු දිස්ත්‍රික්කය තුළ පවතින සමාජීය ගැටලු බෙහෝ ප්‍රමාණයකට කමිටු
සාකච්ඡාව තුළ දී විසඳුම් ලබාදීමට හැකිවිය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන රොෂාන් රණසිංහ, පියංකර ජයරත්න, පියල් නිශාන්ත, එස්.විලයේන්ද්‍රන් යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, නසීර් අහමඩ් මහත්වරු සහ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ද සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවලට අයත් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මඩකලපු දිස්ත්‍රික් රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්වූහ.