මැයි දින තහනමට එරෙහිව වෘත්තීය සමිති පෙළගැසෙයි

මැයි දින තහනමට එරෙහිව වෘත්තීය සමිති පෙළගැසෙයි
ආණ්ඩුවේ මැයි දින තහනම පරාජය කළ යුතුව ඇති බව පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.
 
එහි සම කැඳවුම්කරුවන් වන රංජන් සේනානයක, සිල්වෙස්ටර් ජයකොඩි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
 
එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.
 
පවතින අවදානම් තත්වය තුළ 2021 මැයි දිනය පැවත්වීමට අවසර නොදීමට රජය වෙනුවෙන් තීරණය කළ බව 2021 අප්‍රේල් 20 වෙනි දින සවස් භාගයේ දී කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළ බව වාර්තා විය. ඒ දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් හා පැවති සාකච්ඡාවකින් ගත් එකඟතාවය මත බව ඔහු වැඩිදුරටත් පුකාශකර තිබේ.
 
එහිදී ඒ දේශපාලන පක්ෂ කවරෙක් ද යන්න හෙළි කිරීමට උත්සුක නොවූ යුද හමුදාපතිවරයා මැයි දිනය පැවැත්වීම සඳහා වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සඳහා පිටිටනි හා පෙළපාලි මාර්ග වෙන් කිරීමෙන් අනතුරුව රටේ පවතින සෞඛ්‍යමය අවධාන දැකීම පුදුම සහගතය. 
 
2020 පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු ජනතාව දහස් ගණන් ඒකරාශී කෙරෙන ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසඳර, ජනයා දහස් ගණනින් සහභාගී වූ සිංහළ, දෙමළ අලුත් අවුරුදු සැමරුම් හා තවත් විවිධාකාරයේ ජනහමු සම්බන්ධයෙන් මුනිවත රැකි කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ වසංගත රෝග ප්‍රධානීන් මැයි දිනය ආසන්නයේ බරපතල සෞඛ්‍ය අවදානමක් පිළිඳව අවදිවීම විහිලු සහගතය.
 
ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය හමුවේ හා සෑම පැත්තකින් ම ගිණියම්වන ජනතා කෝපය වර්ධනය වන මොහොතක ඊට බියවැදී රජයේ නොහැකියාව වසාගන්නට මේ මැයි දින තහනම යෝජනා කිරීමට කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය යොදාගෙන ඇති බව ‘පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයේ’ අදහස වේ.
 
ලෝකයේ වැඩ කරන ජනතාව දිවිපුදා දිනාගත් ලෝක මැයි දින සැමරුම, ඊනියා දේශපාලන පක්ෂ නායකයන්ගේ හිමිකමක් නොවන බව පවසන, රාජ්‍ය, අර්ධරාජ්‍ය, බැංකු හා පුද්ගලික අංශයේ රටේ ප්‍රමුඛ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන 22න් සමන්විත පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය, ආණ්ඩුවේ මේ මුග්ධ සැළසුම පරාජය කරන්නට පෙරට එන ලෙස සමස්ථ වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටී.
 
අවසාන වශයෙන් ආණ්ඩුවේ මැයි දින තහනම නොතකා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම අනිවාර්යයෙන් ම අප සංවිධානය සැළසුම්කර ඇති පරිදි පැවත්වීමට කටයුතු කරන බව තරයේ ප්‍රකාශකර සිටිමු.