කොවිඩ් ආරක්ෂක පහසුකම් නොලැබුණුහොත් තැපැල් සේවකයින් ඉවත්වීමේ සුදානමක්

කොවිඩ් ආරක්ෂක පහසුකම් නොලැබුණුහොත් තැපැල් සේවකයින් ඉවත්වීමේ සුදානමක්

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ තැපැල් සේවාවන් පවත්වාගෙන යාම සඳහා සතියක් ඇතුලත පහත සඳහන්පහසුකම් සලසා නොදෙන්නේ නම් තැපැල් සේවාවේ සමස්ථ කාර්යය මණ්ඩලයේ හා එම පවුල්වල සාමාජිකයින්ගේ ආරක්ෂාව මෙන්ම කාර්යාලවල අනාරක්ෂිතව කටයුතු කිරීමට සිදුවීම තුල සේවා ලාභීන්ටද සිදුවිය හැකි අනාරක්ෂිතභාවය සලකා සතියක කාළයකින් පසුව අප සංවිධානය නියෝජනය කරන සමස්ථ සමාජිකයින් සේවයෙන් ඉවත් වීමට කටයුතු කරන බව තැපැල් සහ විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය, ශ්‍රි ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය විසින් තැපැල්පතිවරයා වෙත ලිපියක් යවා ඉල්ලීමක් කර තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ඉහත කරුණ සම්බන්ධයෙන් 2021.05.04 දින අප සංවිධානය මගින් ඔබ තුමන් ඇමතූ ලිපියට පිළිතුරු ලෙස 2021.05.06 දාතමින් අංක 10 / 07 / 1415 / 2021 යටතේ එවා ඇති ලිපිය හා බැදේ.

අප විසින් උක්ත ලිපියෙන් ඉල්ලා ඇති සහනයන් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර පවතින වසංගතය හමුවේ තැපැල් සේවකයින් මුහුණ දී තිබෙන දැඩි අවදානම් තත්ත්වය පිළිබද කිසිදු සැලකිල්ලක් නොදැක්වීම පිළිබද අපගේ නොසතුට මුලින් ම පළකරමු.

පවතින මෙම වසංගත තත්ත්වය තුල සමස්ත සේවකයින්ම දැඩි අවදානම් තත්ත්වක් තුල කටයුතු කරන අතර මේ හේතුවෙන් සේවයින්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමාජික සමාජිකාවන්ගේද ජීවිත අවදානමට ලක්ව ඇති බව සදහන් කරනු කැමැත්තෙමු. දිනෙන් දින මෙම වසංගයේ පැතීරීම වේගවත් වන අතරම ඊට සාපේක්ෂව මිය යන ප්‍රමාණයද වැඩිවීම දෛනිකව සිදුවේ.මේ සියළු කරුණු සැලකිල්ලට ගෙන අප විසින් එම සහනයන් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව මෙහිදී සදහන් කරණු කැමැත්තෙමු.

පවතින මෙම තත්ත්වය තුල සේවකයින් දෛනිකව සේවයට කැදවන්නේ නම් එලෙස සේවයට කැදවන සේවකයින්ගේ ආරක්ෂාව සැලසීම ආයතනයේ වගකීම වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැපැල් කළමනාකාරිත්වය මෙම වගකීම ඉටුකර නොමැති බව කනගාටුවෙන් වුවද දන්වා සිටිය යුතුව ඇත.දිවයිනේ බොහෝ කාර්යාලවල කාර් යය මණ්ඩලය සදහා කිසිදු සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය හෝ උපකරණ සපයා නොමැති අතර සමහර පළාත්වල මෙම ද්‍රව්‍ය මෙතෙක් මිලදීගෙන නොමැති බව ද දැනගන්නට ඇත.විශේෂයෙන් රජ්‍ය සේවයේ ඉදිරි පෙළ කටයුතු කරන රාජ්‍ය සේවකයින් සදහා සෞඛ්‍ය අංශවලින් කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සදහා ලබා දෙන එන්නත තැපැල් සේවකයින්ට ලබා දෙන ලෙස අප අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළද මේ දක්වා එම අත්‍යාවශ්‍ය අවශ්‍යතාවය වත් තැපැල් සේවකයින් වෙත සපුරාලීමට තැපැල් කළමණාකාරිත්වය සමත් වී නොමැත.

එමෙන් දිවයින පුරා තැපැල් කාර්යාලවල හා පාලන කාර්යාලවල පවතින අධික පුරප්පාඩු ප්‍රමාණය හේතුවෙන් රාජ්‍ය සේවකයින් හට මෙම වසංගතයට ද අදාලව සපයා ඇති අවම සහන ප්‍රමාණයවත් ලබා ගැනීමට බහුතර කාර්යය මණ්ඩල සාමාජිකයිනට නොහැකි වී ඇත. මෙම තත්ත්වයද සේවකයින්ගේ ජීවිත අවදානම වැඩිකිරීම සදහා හේතුවන බවද පෙන්වා දෙනු කැමැත්තෙමු.

මෙම සියළු කරුණු සැළකිල්ලට ගෙන පහත යෝජනා වහාම ක්‍රියාමක කරන ලෙස ඉල්ලා සිටීමට අප සංවිධානය තීරණය කර ඇත.
1. සියළුම තැපැල් සේවකයින් සදහා කොවිඩ් 19 ආරක්ෂිත එන්නත ලබා දීම.

2. මේ වන විට සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය සහ උපකරණ සපයා නොමැති සියළු කාර්යාල සදහා එම ද්‍රව්‍ය සැපයීමට කටයුතු කිරීම.

3. රජයේ උපදෙස්වලට අනුව ගර්භනී තත්ත්වයේ පසුවන නිලධාරිණියන් සහ උප තැපැල් ස්ථානාධිපතිවරියන් සේවයෙන් ඉවත්කර තැබීම සදහා සුදුසු වැඩ පිළිවලක් සකස්කර ක්‍රියාත්මක කිරීම.

4. දැනට රජය මගින් රාජ්‍ය සේවකයින්ය ලබා දී ඇති සියළු සහනයන් තැපැල් සේවකයින් හට ලබා ගැනීමට හැකිවන පරිදි කටයුතු සැලසුම් කිරීම.

5. බෝනොවන රෝගවලින් පෙළෙන සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සුදුසු වැඩපිළිවලක් සකස්කර ක්‍රියාත්මක කිරීම.

ඉහත සියළු පහසුකම් සතියක් ඇතුලත ලබා දීමට කටයුතු කරන මෙන් ඉතාමත් කාරුනිකව ඉල්ලා සිටිමි. එලෙස සතියක් ඇතුලත අදාල පහසුකම් සලසා නොදෙන්නේ නම් තැපැල් සේවාවේ සමස්ථ කාර්යය මණ්ඩලයේ හා එම පවුල්වල සාමාජිකයින්ගේ ආරක්ෂාව මෙන්ම කාර්යාලවල අනාරක්ෂිතව කටයුතු කිරීමට සිදුවීම තුල සේවා ලාභීන්ටද සිදුවිය හැකි අනාරක්ෂිතභාවය සලකා සතියක කාළයකින් පසුව අප සංවිධානය නියෝජනය කරන සමස්ථ සමාජිකයින් සේවයෙන් ඉවත් වීමට කටයුතු කරන බව කාරුනිකව දන්වමි.