දුම්රිය සේවකයින්ට එන්නත් දීම ක්‍රමවත් කරන්න

දුම්රිය සේවකයින්ට එන්නත් දීම ක්‍රමවත් කරන්න

සියළුම දුම්රිය සේවකයින්ට එන්නත් ලබාදීම ක්‍රමාණුකූලව ලබාදීමට කටයුතු කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිපියක් යවමින් සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවීම නිසා දුම්රිය සේවකයින් හා නිලධාරීන් විශාල ප්‍රමාණයකට කොරෝනා වසංගතය වැලඳී ඇත. මේ තත්වය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යාල, කර්මාන්ත ශාලා, වැඩබිම්, ධාවනාගාර කිහිපයක් වසා දැමීමට සිදුවී ඇත.

ධාවනය වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අඩුකර ඇතත්, දුම්රිය මාර්ග හා සංඥා, පාලම්, ධාවනාගාර, දුම්රිය ස්ථාන වල හා මෙහෙයුම් සේවා වල සේවකයින්ට අනිවාර්යයෙන් රාජකාරී කිරීමට සිදුවී ඇත. විශේෂයෙන්ම මාර්ග අංශ සේවකයින්ට කණ්ඩායම් වශයෙන් රාජකාරී කිරීමට සිදුවන අතර, මගීන්ගේ කැතකුණු අතපතගෑමට ද සිදුවී ඇත. එමෙන්ම මහජනතාව සමග එකඑල්ලේම සම්බන්ධවී රාජකාරී කිරීමට දුම්රිය ස්ථානාධිපති ඇතුළු දුම්රිය ස්ථාන කාර්යමණ්ඩලයට සිදුවී ඇත. දුම්රිය ආරක්‍ෂක සේවයේ නිලධාරීන් සම්බන්ධයෙන් ද නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ වැඩ පිළිවෙලක් නැත. කර්මාන්ත ශාලා හා කාර්යාල සේවකයින්ගේ තත්වය ද එසේමය.

මේ තත්ත්වය යටතේ රාජකාරී කිරීමේ දී කොරෝනා වෛරසය බෝවීමේ දැවැන්ත අවධානමකට දුම්රිය සේවකයින් පත්ව ඇති බවද ඔබතුමාගේ අවධානයට ලක් කරමු.

එමෙන්ම රා. ප. ච. 02/2021 (i) මගින් කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ආයතන ප්‍රධානීන් වෙත උපදස් ලබා දී තිබුණ ද, එය නිසි පරිදි ක්‍රියාත්මක නොකරන බවක් ද පෙනී යන කරුණකි. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කරනු ලබන්නේ, සමස්ත රාජ්‍ය සේවයටම අදාලව වන බැවින්, දුම්රිය පරිපාලනයේ පවතින ආකාර්යක්‍ෂමතාවය හා අවිධිමත්කම නිසා දැඩි අවදානමකට ලක්වීමට දුම්රිය සේවකයින්ට සිදු වී ඇත. එමෙන්ම රාජ්‍ය සේවයේ අනිකුත් සේවකයින් භුක්ති විඳිනු ලබන අයිතිවාසිකම් දුම්රිය සේවකයින්ට අහිමි වී ඇත.

මේ තත්ත්වය ඔබ තුමාගේ අවධානයට ලක්කරන අතර, සියළුම දුම්රිය සේවකයින් සඳහා කොරෝනා මර්ධන එන්නත් ලබා දීමටත්, 02/2021 (i) ර. ප. චක්‍රලේඛය විධිමත් ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක කිරීමටත් නිශ්චිත ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙසත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.