කොවිඩ් වලට ලංවීම සේවකයින්ටම වෙන්වූ අතරමැදි කඳවුර විවෘතයි

කොවිඩ් වලට ලංවීම සේවකයින්ටම වෙන්වූ අතරමැදි කඳවුර විවෘතයි

Covid වසංගතය හමුවේ අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් කැපවෙන විදුලි සේවකයන් සඳහා අමාත්‍යවරයා විසින් පසුගිය 12 වනදා නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයට අනුව සියලු සේවක සුරක්ෂිතතාවය මේ වන විට සලසා තිබේ. ඒ අනුව එන්නත්කරණය, වාර්ෂික රක්ෂණ ක්‍රමයට අමතරව රු. 150000.00 (ලක්ෂ එක හමාරක්) විශේෂ සෞඛ්‍ය දීමනාව ලබාදීම, කිංචිගුනේ හා කලවාන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සබරගමුව පළාත් සභාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව කටයුතු කිරීම ආරම්භ කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ පිළියන්දල පුහුණු මධ්‍යස්ථානය දිවයිනේ ප්‍රමුඛ පෙළේ රෝහලක් සමඟ එක්ව ලංවිම හා ලෙකෝ ආයතනයේ සේවකයන් සඳහාම වෙන්වූ විශේෂ අතරමැදි රෝහලක් ලෙස ඊයේ (22) දින ප්‍රතිකාර ආරම්භ කිරීම විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා මෙම අතරමැදි රෝහල ස්ථාපිත කිරීම වෙනුවෙන් කෙටි කාලයක් තුළ ඇප කැපවූ සැමට ස්තූතිය පළකළ අතර, සේවක සුරක්ෂිත භාවය වෙනුවෙන් තවදුරටත් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත්, කියා සිටියේය.

මෙම විශ්වීය මාරක වසංගතය හමුවේ ලංවීම සේවක අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවය හදූනා ගනිමින් ප්‍රථමයෙන් ම නොරොච්චෝලේ බලාගාරය වෙත දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමත්, අනතුරුව අනෙකුත් සේවකයින් සදහා ප්‍රමුඛතාවයක් ලබාදෙමින් එන්නත්කරණ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හදුනාගත් ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටත්, විවිධ අභියෝග හමුවේ නිරන්තරව සාමූහිකව කැප වූ විදුලිබල අමාත්‍යාංශය, පුනර්ජීවන බලශක්ති අමාත්‍යාංශය, විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි (පුද්ගලික) සමාගම ප්‍රමුඛ අප සියලු ආයතන ප්‍රධානීන්ටත්, දැනට පවතින අභියෝගාත්මක සෞඛ්‍යමය හා කාලගුණ තත්වයන්ට මුහුණ දෙමින් පටු දේශපාලන හා නොයෙක් බෙදීම්වලින් බැහැරව ආදර්ශමත් ජනතා මෙහෙවරක නිරත සමස්ත සේවක හා වෘත්තීය සමිති සහෝදරත්වයටත් විදුලිබල අමාත්‍යාංශයේ හා ගරු දුමින්ද දිසානායක මහතා ප්‍රමුඛ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රණාමය පුද කර සිටින බවද පැවසීය.

 

එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ලංවිම උප සභාපති නලින්ද ඉලංගකෝන්, පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.