කොවිඩ් රෝහලේ සේවය කරන ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු නෑ 

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහලක් ලෙස නම්කර ඇති නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සේවය කරන ගර්භණී සෞඛ්‍ය නිලධාරිනියන්ට පවතින අවදානම නොතකා සේවය කිරීමට සිදුව තිබේ.
 
එම රෝහලේ මේ වනවිට ගර්භණී සෞඛ්‍ය නිලධාරිනියන් 15 දෙනෙකු පමණ සේවය කරන බව අප වාර්තාකරු කියා සිටියි.
 
 දිවයිනේ බොහෝ රෝහල් පවතින අවදානම මත ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇති බවත්, එසේ වුවද තමන්ට එලෙස නිවාඩු ලබා නොදෙන බවත් එම රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය නිලධාරිණයක සඳහන් කළාය.
 
කෙසේ වෙතත් මෙවැනි  පසුබිමක් තුළ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සේවය කරන ගර්භණී නිලධාරිනියන් සිය පෞද්ගලික නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටින අතර මේ සඳහා ස්ථීර විසඳුමක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.
 
මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී  කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසා ඇත්තේ , ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු ලබාදෙන්න කියලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් කර තිබුණද එය  සෞඛ්‍ය සේවයටත් අදාළ ද යන්න නොදන්නා බවයි.
 
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ පවසා තිබුණි.
 
"මම ඒ් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. නමුත් මට තාම පිළිතුරක් ලැබුණේ නෑ. ඒ නිසා මම ගර්භණී නිලධාරිනියන්ට දැනුම් දුන්නේ මේ අවස්ථාවේ සිය පෞද්ගලික නිවාඩු ලබා ගන්න කියලා. නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් කළ දැනුම්දීම සෞඛ්‍ය නිලධාරිනියන්ට අදාළ නෑ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දුන්නොත් ඒක ප්‍රශ්නයක් වෙයි."