ත්‍රිපෝෂ නිෂ්පාදනය අත්හිටුවීම ගැන සාකච්ඡාවක් ඉල්ලයි

ත්‍රිපෝෂ නිෂ්පාදනය අත්හිටුවීම ගැන සාකච්ඡාවක් ඉල්ලයි

ති‍්‍රපෝෂ නිෂ්පාදනයන් 2021 අපේ‍්‍රල් මාසයේ සිට අත්හිටුවා තිබීම පිළිගත හැකි කරුණක් ඉදිරිපත් කර නොතිබිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් හි සභාපතිවරයා වෙත සාකච්ඡාවක් ඉල්ලා නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ජා ඇල,කපුවත්තේ පිහිටි ති‍්‍රපෝෂ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ පිහිටි අප සංගම් ශාඛාව අප වෙත වාර්තා කර ඇති කරුණු අනුව 2021 අපේ‍්‍රල් මස සිට නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇත. එවැනි තත්වයක් මතුවී ඇත්තේ කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම හේතුකොට ගෙන යැයි මුලින් අදහස් කළ ද, කොවිඩ් 19 වසංගත දෙවන රැල්ලේ දී පවා නිෂ්පාදන කටයුතු අඛණ්ඩව මෙම කර්මාන්ත ශාලාවේ පවත්වාගෙන ගිය බැවින් එලෙස නිෂ්පාදන කටයුතු නතර කර ඇති වත්මන් තත්ත්වයට හේතුව එය යැයි අපට පිළිගත නොහැක.

කෙසේ වෙතත් අප ශාඛාවට ඔබ කර්මාන්ත ශාලාවේ කළමණාකාරීත්වය ප‍්‍රකාශ කර ඇත්තේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට හේතුවී ඇත්තේ තිරිඟු මිලදී ගැනීමේදී වෙළඳපොල මිල සහ ආණ්ඩුව විසින් තිරිඟු මිලදී ගැනීමට තීරණය කර ඇති මිල පරතරය නිසා තිරිඟු මිලදී ගැනීමට නොහැකි වී ඇති බවත් මෙම හේතුවෙන් නිෂ්පාදනය නතර කර ඇති බවත්ය.
කොවිඩ් 19 වසංගතයේ තුන්වන රැල්ල පැතිරීයාම සහ වත්මන් තත්ත්වය තුළ විශේෂයෙන්ම ගැබිණි මව්වරුන්ට ප‍්‍රතිශක්තිය සඳහා රුකුලක් වන ති‍්‍රපෝෂ පෝෂ්‍යදායි ආහාරය තව තවත් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් පවතිද්දී ඒ වෙනුවට මිල ගණන් කැඳවීම සම්භන්ධයෙන් ආණ්ඩුව සහ ඔබ සමාගම අතර පැන නැගී ඇති මෙම තත්ත්වය නිසා රටටම අවශ්‍යය ති‍්‍රපෝෂ නිෂ්පාදනය අත්හිටුවා තිබීම ගැන අප සංගමයේ අප‍්‍රසාදය මින් පළ කරන්නෙමු.

එබැවින් පැන නැගී ඇති මෙම තත්ත්වයට විසඳුම් සාකච්ජා කිරීම සඳහා ඔබ සමඟ සාකච්ජාවක් අප බලාපොරොත්තු වන බැවින් එවැනි සාකච්ජාවකට සුදුසු දිනයක් සහ වේලාවක් දන්වා එවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.