සිසුන් අපහසුතාවයකට පත්නොකර විශ්වවිද්‍යාල වලට අයඳුම්පත් කැඳවීම තාවකාලිකව නතර කරන්න

සිසුන් අපහසුතාවයකට පත්නොකර විශ්වවිද්‍යාල වලට අයඳුම්පත් කැඳවීම තාවකාලිකව නතර කරන්න

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2020/2021 විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්ගෙන් අයදුම්පත් කැඳවීමට කටයුතු කර එම සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් පීඩාවට ලක්කිරීම සම්බන්ධව ලංකා ගුරුසේවා සංගමය මෙම ආපදා තත්වය ඉවත්වන තෙක් අයදුම්පත් කැඳවීම තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය ජී. ඇල්. පීරිස් මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

කොවිඩ් වසංගතයේ දරුණු ව්‍යාප්තිය හා ආපදා තත්වයක් තුල 2020/2021 විශ්ව විද්‍යාල ප්‍රවේශයන්ට අයදුම්පත් කැඳවීම සම්බන්ධවයි.

කොවිඩ් වසංගතය රටතුල දරුණු ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් ආසාදිතයින් හා මරණ දිනෙන් දින ඉහළ යද්දී දිවයිනටම පනවා ඇති සංචරණ සීමා මෙන්ම අයහපත් කාලගුණ තත්වයන් හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්වයන් නිසා සාමාන්‍ය ජන ජීවිතය මුලූමනින්ම උඩුයටිකුරු වී ඇත. එවැනි අවස්ථාවක නැවත සමීක්‍ෂණ ප්‍රතිඵලද නොසලකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2020/2021 විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්ගෙන් ජූනි 11 දිනට පෙර මාර්ගගත (#online) ක්‍රමය හා ලියාපදිංචි තැපැල් මගින් අයදුම්පත් කැඳවීමට කටයුතු කර එම සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් පීඩාවට ලක්කිරීම සම්බන්ධව විරෝධය පලකරන ලංකා ගුරුසේවා සංගමය මෙම ආපදා තත්වය ඉවත්වන තෙක් අයදුම්පත් කැඳවීම තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමු.

02. මෙහිදී විශේෂයෙන් දිවයින පුරා පනවා ඇති සංචරණ සීමාවන් ජූනි 07 වැනි දින තෙක් ක්‍රියාත්මක වන අතර එය තවදුරටත් දීර්ඝ කරන්නේද නැත්ද යන්න පවා මෙතෙක් පැහැදිලි නැත. ඒ අතරතුර විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂාවෙන් සිටින සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට ආසාදිතව ප්‍රතිකාර ලබන අතර තවත් පිරිසක් ආශ්‍රිතයින් බවට පත්ව නිරෝධායනයට ලක්ව ඇත. මේ අතර අයහපත් කාලගුණ තත්වය නිසා අවතැන් වුවන් හා විවිධ පීඩාවට ලක් වූ පවුල්වල සිසුන් සිටින බවද පෙන්වා දිය යුතුව ඇත.,

03. තවද මාර්ගගත (#online) ක්‍රමය මගින් අයදුම්පත් ඉදිරිපත් කිරීමට යාමේදී ග්‍රාමීය හෝ නාගරික වේවා දැඩි සංචරණ සීමා හා විදුලිය බිඳවැටීම් හේතුවෙන් ඊට අවශ්‍ය දත්ත (#data) සහ අන්තර්ජාල සංඥා පහසුකම් ලබාගැනීමේදී මෙන්ම ඊට ආදායම් අහිමි පවුල්වල සිසුන්ට අවශ්‍ය මුදල් සපයා ගැනීමද ගැටලූවක්ව පවතී.,

04. නමුත් ඒ කිසිවක් නොසලකා මේ ආකාරයෙන් සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ද පීඩාවට පත්කරමින් මේ මොහොතේ අයදුම්පත් කැඳවීම අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කවර අවශ්‍යතාවයක් මත සිදුකරන්නේද යන බව දැනගැනීමට එම සිසුන්ට මෙන්ම ගුරුවරුන් වන අපටද සාධාරණ අයිතියක් ඇත. එහිදී පිළිගත හැකි සාධාරණ හේතුවක් නොවන්නේ නම් රට තුල වසංගත හා ආපදා තත්වයක් තුල යම් සිසුවකුට අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකිවීම හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවස්ථාව අහිමි වීමක් හෝ ඒ තුල අක්‍රමිකතාවයන් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් විසින් භාරගත යුතුව ඇත.,

05. තවද රටතුල පැනනැගී ඇති ප්‍රායෝගික හා වාස්ථවික තත්වයන් පිළිබඳව කිසිදු තැකීමක් නොකර සැලසුමකින් තොරව අත්තනෝමතිකව ගනු ලබන මෙවැනි තීන්දු තීරණ මගින් ආණ්ඩුවේ අපරිණතකම ප්‍රදර්ශනය කරන්නක් බවද වැඩිදුරටත් පෙන්වා දිය යුතුව ඇත.,

06. එහෙයින් මේ පිළිබඳව අප ඉහත පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගෙන තවදුරටත් එම සිසු දරුවන්ව පීඩාවට පත්නොකොට ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වන තෙක් අයදුම්පත් කැඳවීම තාවකාලිකව අත්හිටුවන ලෙස නැවතත් අප සංගමය වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමු.