වෙළඳ කලාප සේවකයින් දැඩි පීඩනයකට හා අර්බුදයකට ලක්වෙලා - “වහාම පිළියම් යොදන්න“

වෙළඳ කලාප සේවකයින් දැඩි පීඩනයකට හා අර්බුදයකට ලක්වෙලා - “වහාම පිළියම් යොදන්න“

වෙලඳ කලාප තුල බොහෝ ආයෝජකයින් කොරෝනා වසංගතය වසන්තයක් බවට පත්කර ගනිමින් සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරමින්, ඔවුන්ගේ වැටුප් හා අයිතිවාසිකම් කප්පාදු කරමින් කටයුතු කරන අතර, නිරෝධායන නීතිරීති උපයෝගි කරමින් මූලික වැටුප් පවා කප්පාදු කරමින් සිටින බවත්, ඒ සම්බන්ධව වහාම මැදිහත්වී සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථාන විසින් ඉල්ලීමක් කරමින් ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

Covid-19 වසංගතය හමුවේ වෙළඳ කලාප සේවකයින්ගේ ජීවිත අවදානම හා සේවක අයිතීන් කප්පාදුව.

මේ මොහොතේ රටම වෙලාගත් කොවිඩ්- 19 වසංගතය හමුවේ පණ අදිමින් ඳගලන රටේ ආර්ථිකයට යම් පමණක හෝ හුස්ම පොදක් ලබාදෙනු ලබන්නේ රටේ අපනයන නිෂ්පාදන ක්‍රියාවලියයි. එයිනුත් රටේ ආර්ථිකයේ විදේශ විනිමය ගෙන එනු ලබන්නේ නිදහස් වෙළඳ කලාප ආශ්‍රීත අපනයනයන්ය.

නිදහස් වෙලඳ කලාපවල සේවය කරනු ලබන 85000 කට ආසන්න සේවක සේවිකාවන්ගේ ජීවිත අවදානම ද නොසලකා කොවිඩ්- 19 වසංගතය හමුවේ රටේ ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකරනු ලබන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. රටේ ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල ප‍්‍රමුඛස්ථානය හිමි වෙළඳ කලාප සේවක සේවිකාවන්ට කොවිඩ් වසංගතයට මුහුණු දෙමින් තම ජීවිත අවදානම ද නොසලකා වැඩ කිරීමට සිදුවී ඇති බව පැහැදිලිය.

මේ වනවිට වෙලඳ කලාප තුල බොහෝ ආයෝජකයින් කොරෝනා වසංගතය වසන්තයක් බවට පත්කර ගනිමින් සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරමින්, ඔවුන්ගේ වැටුප් හා අයිතිවාසිකම් කප්පාදු කරමින් කටයුතු කරන අතර, නිරෝධායන නීතිරීති උපයෝගි කරමින් මූලික වැටුප් පවා කප්පාදු කරමින් සිටිනු ලැබේ. අනෙක් පසින් මූලික සෞඛ්‍ය පහසුකම් පවා ලබානොදෙමින්, වෙළඳකලාප තුල කොරෝනා පොකුරු නිර්මාණය කරමින් සේවක ජීවිත අනතුරට හෙලා ඇති බව නොරහසකි. නිරෝධායන නීතිරීති තම අත්තනෝමතික උවමනාවන් වෙනුවෙන් එසේ භාවිතා කරනු ලබන
ආයෝජකයන් මූලික වැටුප පවා කප්පාදු කරමින් සිටී.

වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කර දීම හා රටේ පවතින පොදු නිරෝධායන නීතිරීති උපයෝගි කරගනිමින් ජීවිත අවදානම නොසලකා සේවය කරනු ලබන වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ වැටුප් කප්පාදුව නවතා දමන ලෙසට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු.

එසේම වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ එන්නත් කරණ ක්‍රියාවලිය ප‍්‍රමුඛතාවයේ ලා සලකන ලෙසත් මේ පිළිබඳ අවශ්‍ය වැඩපිළිවෙල සාකච්ඡා කිරීම සඳහා හැකි ඉක්මනින් අවස්ථාවක් නිදහස් වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානය ලෙස අප වෙත ලබාදෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.