රාජ්‍ය නිලධාරීන්ට සමාන හිමිකම් ලබාදීමට පියවර ගන්න

රාජ්‍ය නිලධාරීන්ට සමාන හිමිකම් ලබාදීමට පියවර ගන්න

Covid-19 ව්‍යසනකාරී තත්වය නිසා බලපෑමට ලක්වූ පවුල්වලට රු.5000/- දීමනාවක් ලබාදීම PTE/03-2021(i) (අවසාන කෙටුම්පත) චක‍්‍රලේකය අනුව රු.5000/- දීමනාව ලබා දීමේ දී රාජ්‍ය නිලධාරීන්ට සමාන හිමිකම් ලබා දීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

උක්ත චක්‍රලේකය ග‍්‍රාමීය මට්ටමින් ක‍්‍රියාත්මක කිරීමේ දී හා ඊට අදාළ චක‍්‍රලේඛ නිකුත් කිරීමේ දී ග්‍රාම නිලධාරී වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරී හා සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් වන කාර්යභාරය නිශ්චිත කිරීමක් සිදු නොකිරීම පිළිබඳව අපගේ විරෝධතාවය පළ සිටිමු.

එමෙන්ම රු.5000/- ලබා දීමේ කාර්යයේ දී ඊට නිලධාරීන් කිහිප දෙනෙකුට සමාන වගකීම් හා අවධානම දරමින් මැදිහත්ව රාජකාරිය ඉටුකළ ද වසමකින් එක් නිලධාරියෙකුට පමණක් විශේෂ දීමනා ලබා දෙමින් ක්‍රියා කිරීම අසමාන සැලකීමක් බව අවධාරණය කරමු,

2. රු. 5000/- දීමනාව ගෙවීම සඳහා කටයුතු කරන සියලූ නිලධාරීන් සමාන දායකත්වයක් හා සමාන අවධානමක් දරණ අතර සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට පමණක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් නිවාඩු දින වැටුප් ගෙවීම, වැඩ බැලීමේ දීමනා ගෙවීම හා ගමන්වියදම් ගෙවීම සිදු කරනු ලබයි,

3. රු.5000/- දීමනාව ගෙවීම සඳහා සමාන වගකීම් හා කාර්ය භාරයක් ඉටු කරන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් ආර්ථික සංවර්ධන නිලධාරීන්/ සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු එම කාර්යයට සම්බන්ධ වන කණ්ඩායම් වලට එවැනි කිසිඳු දීමනාවක් අනුමත කර නොමැති අතර ඔවුහු දීමනා රහිතව එම කාර්යභාරය ඉටු කරති.

4. මුළු රටේම ජනතාව මුහුණ දී ඇති ව්‍යවසනකාරී තත්වය හමුවේ ආදායම් අහිමි ජනතාවට ලබාදෙන රු.5000/- දීමනාව කඩිනමින් හා අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ලබා දීම ආණ්ඩුව අපේක්ෂා කරන අතර, නමුත් එම කාර්යට සමාන වගකීම් දරණ නිලධාරීන්ට දෙයාකාරයකින් සැලකීමට පියවර ගැනීම ආණ්ඩුව අලූතින් ගැටළු නිර්මාණය කරගැනීමට දරණ උත්සහයක් බව හැඟී යයි.

5. රජය හා මහජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් කෙටි කාලයක් තුළ කාර්යක්ෂමව රු.5000/- දීමනාව අදාළ ප්‍රතිලාභීන් වෙත ලබාදීම සඳහා සමාන දායකත්වයක් දරණ සියලූ නිලධාරීන්ට සුදුසු පරිදි දීමනාවක් ගෙවීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්තුමා හා දිස්ත්‍රික් ලේකම්තුමන්ලා මඟින් කටයුතු සිදු කිරීමට ආණ්ඩුව අවශ්‍ය තීරණය දැනුම්දෙන ලෙස මෙයින් ඉල්ලා සිටිමු.