අධ්‍යාපන අමාත්‍යංශය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝණය කරලා

අධ්‍යාපන අමාත්‍යංශය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝණය කරලා

2022 වසරේ 1 ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ළමුන් සංඛ්‍යාව 40 ක් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝණය කිරීමක් ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

2022 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් 2021.05.31 දිනැතිව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පුවත්පත් නිවේදනයක් නිකුත් කර ඇත. එම පුවත්පත් නිවේදනයෙහි පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ විවිවිධාන හා උපදෙස් දක්වා ඇත. එහි අංක 3.1 හි දක්වා ඇත්තේ පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40 ක් බවයි. ඉන් 35 ක් සම්මුඛ පරීක්ෂණ මගින් ද, 5 ක් කි‍්‍රයාන්විත රාජකාරියේ යෙදුණු ති‍්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින්ගේ ළමයින්ගෙන් ද තෝරා ගන්නා බව එහි සඳහන් වේ. මෙය 2016 වසරේ සිට පන්තියක සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 35 ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය මුළුමනින්ම උල්ලංඝණය කිරීමක් මෙන්ම අධිකරණයට කරන බරපතල අපහාසයකි.

SCFR 235/2011 සහ SCFR 232/2011 යන පෙත්සම් විභාගයෙන් අනතුරුව 2011 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීරණය වූයේ 2016 වසරේ සිට පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35 ක් විය යුතු බවයි. ඒ වන විට සමහර පාසල්වල පන්තියක සිටින ළමුන් සංඛ්‍යාව 40 -50 හෝ ඊටත් වැඩි ප‍්‍රමාණයන් විය. මේ තත්වය මත ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ප‍්‍රශස්ත තීරණය ලබාදෙමින් එය කි‍්‍රයාත්මක කිරීමට අදාළ කටයුතු සකස් කිරීමට ප‍්‍රමාණවත් කාලයක් ද ලබාදෙන ලදී.

එහෙත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර නොතිබීම හේතු කර ගෙන 2015.10.21 අමාත්‍ය මණ්ඩල තීරණය මගින් 2016 වසරේ සිට පන්තියක සිටිය යුතු ළමුන් වසරකට 1 බැගින් අඩු කර 2021 වසරේ සිට 35 සීමාවට ගෙනඒමට කටයුතු කරන ලදී. ඒ සම්බන්ධයෙන් 2015.12.29 දිනැතිව නිකුත් කරන ලද 34/2015 චක‍්‍රලේඛය අනුව 2016 වසරේ දී පන්තියක ළමුන් සංඛ්‍යාව 40 ක් ද, 2017 වසරේ දී පන්තියක ළමුන් සංඛ්‍යාව 39 ක් ද, 2018 වසරේ දී පන්තියක ළමුන් සංඛ්‍යාව 38 ක් ද, 2019 වසරේ දී පන්තියක ළමුන් සංඛ්‍යාව 37 ක් ද, 2020 වසරේ දී පන්තියක ළමුන් සංඛ්‍යාව 36 ක් ද, 2021 වසරේ දී පන්තියක ළමුන් සංඛ්‍යාව 35 ක් ද විය යුතු වූ අතර, 2021 වසරේ සිට ඉදිරියට ද එය 35 සීමාව තුළ පැවතිය යුතු විය. 2016 වසරේ සිට මෙම චක‍්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කර ගැනීම සිදු කරන ලද අතර, 2021 වසරේ දී පන්තියකට ඇතුළත් කර ගත් ළමුන් සංඛ්‍යාව 35 ක් විය. එසේම වර්තමාන අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් 2020.12.04 දිනැතිව ඊඞී/12/11/02/02 අංකයෙන් නිකුත් කරන ලද ලිපිය මගින් ද 2021 වසරේ සිට පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35 ක් බව අවධාරණය කරන ලදී.

එසේ තිබියදී කිසිදු පදනමකින් තොරව 2022 වසර සඳහා 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ උපදෙස් සංග‍්‍රහයේ පන්තියකට ඇතුළත් කර ගන්නා ළමුන් සංඛ්‍යාව 40 ක් ලෙස දක්වා ඇත. එය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඉහත තීරණය බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි.

ගුරුවරයෙකුට ළමයෙකුට ඉගැන්වීමේදී පන්තියක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අඩු ප‍්‍රමාණයක් වීම අධ්‍යාපනය ලබන දරුවාට නිසි අවධානයක් ලැබීමට හා ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට අත්‍යවශ්‍ය කොන්දේසියකි. දියුණ මට්ටමේ අධ්‍යාපන තත්වයන් ඇති ලෝකයේ බොහෝ රටවල පන්තිියක සිටින ළමුන් සංඛ්‍යාව 20-25 ත් ප‍්‍රමාණයකි. ඒ තත්වය තුළ පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීම දරුවන්ට කරන බරපතල අසාධාරණයක් වන අතර, ගුණාත්මක ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියට බරපතල බාධාවකි. එසේම පාසල් සමාන දියුණු කර සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා සහිතක කිරීමට පටහැනි කි‍්‍රයාවකි.

ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව ළමුන් සංඛ්‍යාව අඩු කළ ද විවිධ බලපෑම් ඔස්සේ එම සීමාව ඉක්මවා දරුවන් පාසලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ ‘රාජකීය විද්‍යාලයීය සංගමය’ විසින් CA (WRT) 387/2019 අංකයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබුණි. අභියාචනාධිකරණය 2019.10.14 දින ළමුන් 35 සීමාව තිබිය යුතු බව තහවුරු කරමින් රාජකීය විද්‍යාලයට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අතුරුතහනම් නියෝගයක් ලබාදුන් අතර, එම පෙත්සම අභියාචනාධිකරණයේ තවදුරටත් විභාග වෙමින් පවතී.

අභියාචනාධිකරණය ඉදිරියේ පවතින පෙත්සම් විභාගය සම්බන්ධයෙන් ද නොසලකා හරමින්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය බරපතල ලෙස උල්ලංඝණය කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සම්න්ධයෙන් මෙලෙස අත්තනෝමතිකව කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයකි.

මෙම තත්වය තුළ අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ ප‍්‍රශස්ත තීරණයක් වූ ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු කරමින් 2021 වසරේ කි‍්‍රයාත්මක වූ ආකාරයට ම පන්තියක ළමුන් සංඛ්‍යාව 35 සීමාව තුළ පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී. එසේම මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට ලංකා ගුරු සංගමය කටයුතු කරන බව වැඩිදුරටත් දන්වා සිටිමු.