එක් පාර්ශවයකට පමණක් වැටුප් වැඩිකිරීමෙන් සෞඛ්‍ය සේවාව බරපතල අර්බුදයක

Ravi-Kumudesh

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ දීමනා වැඩිකිරීම පිළිබඳව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් වෛද්‍ය කාර්යය මණ්ඩලයට පමණක් අමතර සේවා දීමනාව නිර්දේශ කිරීමට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩය විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිපියක් මගින් දැනුම්දීමක් කර තිබේ.

මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ,

උක්ත කරුණ සම්බන්ධයෙන් අප බල මණ්ඩලය විසින් 2021-05-12 වැනි දින ඔබතුමිය සමඟත් 2021-07-03 වැනි දින සෞඛ්‍ය ලේකම්තුමා සමඟත් සාකච්ඡා කරන ලද අතර එහිදී සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය බෙදා වෙන් කරමින් දීමනා වැඩි කිරීම හෝ වෙනස්ව සැළකීම සිදු නොකරන ලෙස අවධාරණය කළ අතර එහිදී, එසේ සිදු නොකරන බවටද එකඟතාවයක් ඇති කර ගන්නා ලදී.

නමුත් අද දින පුවත්පත් වාර්තා කර ඇති පරිදි හා අප සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනූව වෛද්‍ය කාර්යය මණ්ඩලයට පමණක් දීමනා වැඩි කිරීම නිර්දේශ කරමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. එය සෞඛ්‍ය සේවාවේ සාමුහිකත්වය බිඳ දැමීම සඳහා හිතාමතා සිදු කරන ලද්දක් වන අතර වෛද්‍ය පරිපාලනය විසින් තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදා ගැනීමකි.

මේ පිළිබව පළ වූ පුවත් පත් වාර්තා මීට යාකොට ඇති අතර එම කරුණු නිවැරදි නොවන්නේ නම්, වහා ඒ පිළිබඳ නිළ නිවැරදි කිරීමක් සිදු කරන ලෙස හා ඒ පිළිබඳව අප බල මණ්ඩලය ලිඛිතව දැනුවත් කරන ලෙසත්, එසේ නොවන්නේ නම් එම තොරතුරු නිවැරදි යැයි සළකා කටයුතු කරන බවත් කාරුණිකව දන්වමි.

ඒ අනූව සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ කැපවීම බෙදා වෙන් කිරීමට  උත්සහ දැරීම සහ වෛද්‍ය පරිපාලනය විසින් සෞඛ්‍ය අමාත්‍යාවරයාවද හවුල් කර ගනිමින් වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය නොසලකා හැරීමට එරෙහිව 2021-06-10 දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව කණගාටුවෙන් දැනුම් දෙමු.

වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කරමින් මහජනතාව අපහසුතාවයට පත් කිරීමට අප මේ මොහොතේ කිසිසේත්ම අපේක්ෂා නොකල නමුත් දිගින් දිගටම අසමානව සළකමින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වර්ජන වෙත පෙළඹවීම හරහා ඇතිවන ගැටළුකාරී තත්ත්වයන්ගේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් භාරගත යුතු බවද අප වැඩිදුරටත් අවධාරණය කර සිටිමු.