සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය සංවිධාන එකමුතුවෙන් අප්‍රසාදය

Media-collective

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 'තර්ඩ් ක්ලාස් වැඩ කළ' මාධ්‍යවේදීන් යැයි කළ අපහාසය සම්බන්ධයෙන් එයට විරෝධය දක්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වෙත අප්‍රසාදය පළකරමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය යන මාධ්‍ය සංවිධාන එකතුව විසින් ලිපියක් යනා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වැඩි දෙනා 'තර්ඩ් ක්ලාස් වැඩ කළ මාධ්‍යවේදීන්' බව හඳුන්වමින් ඔබ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් අපි අපගේ බලවත් අප්‍රසාදය පළ කරන අතර, ජනතාවට මෙන්ම රටට සිදුවන අයහපත සම්බන්ධයෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ එම මාධ්‍යවේදීන්ට ඔබ කර ඇත්තේ බලවත් අපහාසයකි. නිග්‍රහයකි. ඉතිහාසය පුරා මාධ්‍යවේදීන්ට සිදුවූ අපරාධ (ඝාතන, අතුරුදහන් කිරීම්, ප්‍රහාර) සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවී ඇත්තේ ද, ඔවුන් විසින් කළ කාර්ය භාරයන් වැළැක්වීම සඳහා, ඒවා හිතා මතා සැලසුම් කළ අපරාධයන් නිසා බව අපගේ විශ්වාසයයි.

ජූනි මස 03 වැනිදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ මූලික අදහස් දැක්වීමෙන් අනතුරුව, ඔබ කෝපයෙන් යුතුව මේ ප්‍රකාශය කර ඇත්තේ, එදින තේමාවට අදාළ නොවන ගැටලුවක් සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ, මාධ්‍යවේදියකු ඉලක්ක කර ගෙන බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පෙනී සිටිමින්, අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන්ට ඔබ කර ඇති අපහාසය හා නිග්‍රහය සුළු කොට සැලකිය නොහැක්කකි. ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඩ නගන මාධ්‍ය ප්‍රජාව වන අප මෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා ද මෙයින් බලවත් හිත් රිදීමකට ලක් වී ඇත.

'තර්ඩ් ක්ලාස් වැඩ' සහ 'ක්ලාස්' සම්බන්ධ ඔබගේ නිර්වචනය ගැන කතිකාවකට යන්නට අපි බලාපොරොත්තු නොවෙමු. නමුත් මේ වන විට සමාජගත වී ඇති ඔබගේ ප්‍රකාශයෙන් අගතියක් සිදුවූ අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන් හා හිත් රිදීමට ලක්වූ ඔවුන්ගේ පවුල්වල අයගෙන් මෙන්ම මාධ්‍ය ප්‍රජාවගෙන් සමාව ගැනීම වගකිවයුතු නිලධාරියකු වශයෙන් ඔබගෙන් ඉටු විය යුතු යුතුකමක් සේ අපි සලකන බව මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් කියා සිටිමු. එය අවධාරණය කරනු පිණිස මෙම ලිපිය සියලු මාධ්‍ය වෙත ද නිකුත් කෙරේ.