වරාය සේවකයින්ගේ ගැටළු විසඳා ගැනීමට සාකච්ඡාවක් ඉල්ලයි

port-authority

ශ්‍රී ලංකා වරාය අධිකාරි තුළ කොවිඩ් තත්වය යොදාගනිමින් වරාය සේවකයන්ගේ අතිකාල කප්පාදුව හා වසංගත තත්ත්වය තුළ ජීවිත අවදානමද නොතකා වරාය සේවකයින් ලබාදෙන ලද කැපකිරීම නොසලකා වරාය සේවකයින්ගේ අතිකාල කප්පාදුවට ගෙන ඇති තීරණය හා අනෙකුත් ගැටලු විසඳුමක් ලබාගැනිම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාවරයාට එම ගැටළු දන්වා යවමින් එම ගැටළු විසඳා ගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙස සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුටරත් සඳහන් වන්නේ, කොවිඩ් වසංගතය හමුවේ රටට ආර්ථික වශයෙන් අතිශයින්ම වැදගත් ආයතනයක් ලෙස වරාය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතා වැදගත්වේ. ජීවිත අවධානමක් සහිතව උවත් වරාය සේවා පවත්වාගෙන යාමේදී වරාය සියලූ සේවකයින් දක්වන ලද කැපකිරීම, මැදිහත්වීම විශේෂයෙන් අගය කර සිටිමු.

කරුණු එසේ වුවත් ඔබතුමා ඇතුලූ ඉහළ කළමණාකාරීත්වය විසින් මේ වන විට ගනිමින් පවතින ඇතැම් ක්‍රියාමාර්ග හා තීරණ වරාය පැවැත්මට හා සේවක යහපතට හේතු නොවන බව අපගේ අවංක විශ්වාසය වේ.

  1. Xpress Pearl නෞකාව නැංගුරම් දැමීමෙන් පසුව රසායනික ද්‍රව්‍ය කාන්දුවීම පිළිබඳව වරාය දැනුවත් කරන ලද මොහොතත් නැවේ ගින්න හට ගැනීම ආරම්භ වූ මොහොතත් අතර ගත වූ කාලය තුල නිවැරදි තීරණවලට එළඹුනා නම් සිදුව ඇති අති විශාල විනාශය වැළැක්වීමට හැකියාව තිබුනාය යන්න අපගේ අදහස වේ. එම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය ලෙස කඩිනමින් විමර්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටීම.
  2. කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා ජයබහලූ පර්යන්තය හා ECT පර්යන්තය සඳහා දින 7 ක සේවා මුර ක්‍රමයක් හඳුන්වා දීම හේතුවෙන් මෙහෙයුම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෑන් පවර් සමාගමක් මගින් දෛනිකව ග්‍රැන්ටි දොඹකර ට්‍රාන්සර් දොඹකර, ප්‍රයිමුවර් සඳහා ක්‍රියාකරුවන්ගේ සේවය ලබාගනු ලැබිනි.

    එම ක්‍රමවේදය කොවිඩ් තෙවැනි රැල්ලේදී අවශ්‍ය නොවන බවට පාලනාධිකාරිය තීරණය කර ජයබහුලූ පර්යන්තය හා ECT පර්යන්තය තුල රාජකාරී කරනු ලැබූ සේවකයින් පූර්වයෙන් පැවති සේවා මුර ක්‍රමය වෙත අනුයුක්ත කොට ඇත. එසේ තිබියදී මෑන්පවර් සමාගම් මගින් දෛනිකව සේවකයින් සේවයට එක්කර ගැනීම එම සේවා පුද්ගලික අංශයට පැවරීමක් වන අතර එමගින් ඊට සම්බන්ධ පිරිස් වෙත අතයට මුදල් ගනුදෙනු ලැබෙනවාද යන ගැටලූව අපට ඇත. මේ පිළිබඳව කඩිනම් පරීක්‍ෂණයක් පැවැත්වීම.
  3. ග්‍රැන්ටි දොඹකර, ට්‍රාන්සර් දොඹකර, ප්‍රයිමුවර් ඇතුලූ මෙහෙයුම් යන්ත්‍ර සඳහා සේවකයින් පුහුණු කිරීමේ හා බඳවාගැනීමේ පැහැදිලි හා නිශ්චිත ක්‍රමවේදයක් වරාය තුල ඇත. එම ක්‍රමවේදය පසෙකට කර විවිධ අයගේ යාලූකම්, ඥාතිකම් මත හා භාහිර පාර්ෂව වල උවමනා එපාකම් මත වරාය සේවයෙන් පිට පිරිස් වරායට රැගෙන විත් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍රවලට අලාභහානි සිදුකරමින් පුහුණු කිරීමේ කිසිදු දැනුමක් නොමැති මෑන් පවර් සමාගම් මගින් දෛනිකව සේවයේ යොදවා ඇති සේවකයින් මගින් පසුගිය කාලය පුරාම පිටස්තර පිරිස් පුහුණු කර ඇත. මෙය ඉතා බරපතල විනාශකාරීත්වයක් වන අතර ඒ පිළිබඳව කඩිනමින් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීම.
  4. වසර දහය , පහළොව වැනි දීර්ඝ කාලයක් පුරා අදාල තනතුරේ වැටුප් නොලබා විවිධ තනතුරුවල වැඩ ආවරණය කරන සහ වැඩබලන සේවකයින් වෙත සූදුසුකම් අනුව එම තනතුරු කඩිනමින් ලබා දෙන ලෙසත් තවදුරටත් පවතින පුරප්පාඩු පිරවීම සඳහා නියමිත ක්‍රමවේදයකට යටත්ව කටයුතු කරන ලෙසත් විශ්‍රාම යන සේවකයින් පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු කර එම පුරප්පාඩු කල්ඇතිව පිරවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම.
  5. වරාය මගින් ගොඩබාන හා පටවන සෑම බහලූමක් සඳහාම නෞකා ඒජන්තවරයා විසින් ඊට සම්බන්ධ වන සියලූ සේවකයින් දිරිගැන්වීම සඳහා ඩොලර් දෙකක මුදලක් (අද වටිනාකම රු. 400/- ඉක්මවා ගොස් ඇත.) අයකරනු ලබයි. එම මුදල වරාය අධිකාරිය මැදිහත්ව අදාල පාර්ශව වෙත ලැබීමට කටයුතු කරනු ලැබුවත් එම ක්‍රමවේදය හඳුන්වා දුන් 2003 වසරේ සිට අවස්ථා දෙකකදී හැර සේවකයින්ට ගෙවන මුදල් වැඩිකර නැත. එසේම ඩොලරය වැඩිවීමට සාපේක්‍ෂව සේවකයින්ට ගෙවන මුදල ගණනය කළ යුතු වුවත් එය එදා සිට මේ දක්වාම එවැන්නක් ක්‍රියාත්මකව නැත. මේ අනුව මෙහි බරපතල මූල්‍ය වංචාවක් සිදුවන බව බැලූ බැල්මට පෙනී යන කරුණකි.
  6. කරුණු මෙසේ තිබියදී කොවිඩ් වසංගතය හමුවේ මෑන් පවර් සේවකයින් සේවයට යොදවා ගනිමින් සිදුකරන මෙහෙයුම් කටයුතු සඳහා ලැබිය යුතු ලැබීම් අදාල සේවකයින්ට හෝ වරාය සේවකයින්ට ලැබී නැති අතර එම මුදල් කාගේ ගිණුමට බැර උනාද යන්න බරපතල ගැටලූවකි. සිදුකර ඇති මූල්‍ය වංචාව පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන ලෙසත් ගැටලූවට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටීම.
  7. කෝවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව දම්මික පැණිය නමින් පානයක් වරාය සියලූ සේවකයින්ට බෙදා දෙන ලදී. එම පැණිය කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හා අයුර්වේද සංස්ථාවේ අනුමැතියක් නැත. එසේ තිබියදී එම පැණිය වරාය සේවකයින්ට බෙදා දීමට තීරණය කළේ කුමන නිර්නායක යටතේද යන්නත් ඒ සඳහා කොපමණ මුදලක් වැය කර ඇද්ද යන්නත් සොයා බලන ලෙස ඉල්ලා සිටීම.
  8. කොවිඩ් වෛරසයෙන් ආරක්‍ෂාවීම සඳහා වරාය සේවකයින් වෙනුවෙන් මීලදී ගෙන බෙදාදීමට කටයුතු කර ඇති හා අදටත් බෙදා දෙනු ලබන එක් වරක් පාවිච්චි කර ඉවත දමන "KENKO" වෙළඳ නාමය යටතේ ආයතනික මුහුණු ආවරණ එකක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 40 ක මිලකටය. ඒ අනුව මසකට එවැනි මුහුණු ආවරණ ලක්‍ෂයකට වැඩි ප්‍රමාණයක් වරායට ලබාගන්නා බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව එහි බැලූ බැල්මට මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට පෙනී යනු ලබයි. ඒ නිසාම කොවිඩ් ව්‍යාප්තියත් සමග මිලදී ගනු ලැබූ අනෙකුත් මිලදී ගැනීම් පිළිබඳවද ගැටලූ මතුව ඇත. මුලූ රටම දැඩි මූල්‍ය අර්බුදයක ගිලී පවතින මොහොතක කොවිඩ් වසංගතය ජාවාරමක් බවට පත්කරගෙන කටයුතු කර ඇත්ද යන්න සොයා බලා නිසි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම.
  9. වරාය මුලූතැන්ගෙය සඳහා ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම්වලදී විශාල වශයෙන් වංචා සිදුව ඇත. ඒවා කාලයක් පුරා සිදුව ඇති අතර අදටත් එම වංචා එසේම සිදුවේ. මුලූතැන්ගෙය තුල සිදුව ඇති මූල්‍ය වංචා සොයා බැලීම හා දඬුවම් පැමිණවීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සිටීම.
  10. 2021. 01. 01 සිට වරාය සේවකයින් වෙත ලබා දෙනු ලැබූ සොච්චම් වැටුප් වැඩිවීම (පවතින ජීවන වියදමට හා 2018, 2015 වැටුප් වැඩිවීමට සාපේක්‍ෂව) විවිධ හේතු දක්වමින් ඇතැම් සේවක කණ්ඩායම්වල අතිකාල අඩුකිරීම මගින් කප්පාදු කර ඇත. අතිකාල සේවක අයිතීන් නොවුනත් සමාන්තර අර්ධ රාජ්‍ය ආයතනවලට සාපේක්‍ෂව වරාය සේවක වැටුප් පහල අගයක පවතින අතර වරාය බොහෝ කටයුතු පැය අටක සේවා මුරයක් තුල සිදුකළ නොහැකි නිසා සේවකයින්ට අතිකාල කිරීම අනිවාර්යයක් බවට පත්ව ඇත. සේවකයින් සාපේක්‍ෂව අඩු වැටුප් ලැබුවත් සිදුකළ යුතු අත්‍යවශ්‍ය රාජකාරී ඉටුකිරීම සඳහා පැය 8 න් ඔබ්බට වැඩකිරීම හරහා ලබන අතිකාල මගින් ජීවන වියදම ඉහළ යාම යම් මට්ටමකට සමනය කර ගනු ලබයි.

එවැනි පසුබිමක කොවිඩ් තත්වය යොදාගනිමින් වරාය සේවක අතිකාල කප්පාදුව වරාය සේවකයා කබලෙන් ලිපට ඇද දැමීමක් වන අතර ජීවිත අවදානමද නොතකා වරාය සේවකයා මේ දක්වා ලබාදෙන ලද කැපකිරීම නොසලකා හැරීමකි. වරාය සේවකයින්ගේ අතිකාල කප්පාදුවට ගෙන ඇති තීරණය වහා අත්හිටුවා ඔවුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා සිටීම.

මෙම කරුණු පිළිබඳව ඔබතුමාගේ කඩිනම් අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඒවා පිළිබඳව වැඩිදුර සාකච්ඡා කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා අප වෘත්තීය සමිතිය වෙත කඩිනමින් දිනයක් හා වේලාවක් ලබා දෙන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.