ගුවන් තොටුපළ ආරක්ෂක අංශයට දේශපාලන පත්වීම් ලබාදෙන බවට චෝදනා

airport-security

ශ්‍රී ලංකා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම තුළ සුදුස්සන් හලා දේශපාලන පත්වීම් ලබාදීමේ උත්සාහයක් පිළිබඳ අන්තර් සමාගම් සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම තුළ ආරක්‍ෂක අංශයේ නිළධාරි තනතුර සඳහා තෝරාගන්නා ලද 27 දෙනෙකුට පත්වීමේ ලිපි ලබා නොදී නැවත වෙනත් පිරිසක් සඳහා උසස්වීම් ලබාදීමට උත්සාහ කරමින් සිටී.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂක නිළධාරින් ලෙස ප්‍රායෝගික හා සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත් වූ 27 දෙනෙකුගේ පත්වීම් ක්‍රියාත්මක නොකොට දේශපාලන බලපෑම් මත එම තනතුරු සඳහා යළිත් සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමට සුදානම් බව අසාධාරණයට පත් සේවකයෝ පවසති. ප්‍රායෝගික පරීක්‍ෂණයෙන් හා සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත් එම 27 දෙනාට පසුගිය ජූනි 03 වන දින පත්වීම් ලිපි ලබාදීමට සියලූ කටයුතු සූදානම් කර පැවතියත් එය ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයෙකුගේ මැදිහත්වීම මත අවලංගු කර ඇත.

සේවකයන්ගේ සුදුසුකම් මත දිය යුතු තනතුරු සුදුස්සන් හට නොදී දේශපාලන හෙංචයියන්ට ලබාදීමට උත්සාහ කිරීම පිළිබඳව අප දැඩි විරෝධය ප්‍රකාශ කර සිටිමු. සුදුසුකම් ලැබූ සේවකයන්ට පත්වීම් නිසි පරිදි ලබාදෙන ලෙස ද ඉල්ලා සිටිමු.