රැකියා විරහිත උපාධිධාරීන්ට මිලියන පහ දක්වා ආධාර දෙන්න රජයේ තීරණයක්

රැකියා විරහිත උපාධිධාරීන්ට මිලියන පහ දක්වා ආධාර දෙන්න රජයේ තීරණයක්

කෘෂිකර්ම නිෂ්පාදනවල අගය වැඩි කිරීමේ ව්‍යාපාරවලට සම්බන්ධ වන රැකියා විරහිත උපාධිධාරීන්ට රුපියල් මිලියන 1.5 සිට රුපියල් මිලියන 5 දක්වා මුදල්, ආධාර වශයෙන් දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

කෘෂි ක්ෂේත්‍රවල අගය වැඩි කිරීමේ ව්‍යාපාරවලට අදාළව සාර්ථක ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරන රැකියා විරහිත උපාධිධාරීන් තෝරාගෙන ඔවුන්ගෙන් එක් අයකුට රුපියල් මිලියන 1.5 සිට රුපියල් මිලියන 5 දක්වා ඒ ඒ ව්‍යාපෘතිය අනුව ආධාරයක් වශයෙන් මුදල් ලබාදෙන බවත් ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අපනයන වෙළෙඳපොළ සම්බන්ධ කරදීමටද රජය මැදිහත් වන බවත් උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ‘ඉරිදා මව්බිම’ට ප්‍රකාශ කළේය.

ආධාර වශයෙන් ලබාදෙන මෙම මුදල්වලට අමතරව මෙම කෘෂිකර්ම නිෂ්පාදනවල අගය වැඩි කිරීමේ ව්‍යාපෘතිවලට සම්බන්ධ වන විට රැකියා විරහිත උපාධිධාරීන්ට 6%-9% පොලියකට ණය මුදලක් ලබාදීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

රැකියා විරහිත උපාධිධාරීන් කෘෂි ව්‍යවසායකයන් බවට පත්කිරීමේ වැඩසටහන ලබන මාසයේදී ආරම්භ කරන බවත් මෙම වසර තුළදී රැකියා විරහිත උපාධිධාරීන් 250 දෙනකු මේ සඳහා තෝරාගන්නා බවත් මුල් අදියර යටතේ රැකියා විරහිත උපාධිධාරීන් දහසක් මෙම වැඩසටහ සඳහා සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය. 

මීට අමතරව කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සිදුකරන වෘත්තිකයන්ට  රුපියල් ලක්ෂ 50ක ආධාරයක් සහ 4% සහන පොලියකට ණය මුදලක් ලබාදීමට කටයුතු කරන බවත් එම කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන සඳහා එම ව්‍යවසායකයා රුපියල් ලක්ෂ 50ක් යෙදවිය යුතු බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා එසේ මුලින්ම ප්‍රාග්ධනය වශයෙන් රුපියල් ලක්ෂ 50ක් යොමුකරන ව්‍යවසායකයන් 200 දෙනකුට රජය මඟින් රුපියල් ලක්ෂ 50ක ප්‍රදානයක් සහ 4%ක අවම පොලියකට ණය මුදලක් ලබාදෙන බවත් දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් එය ලබන මාසයේදී ආරම්භ කරන බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

මූලාශ්‍රය -මව්බිම