පුරවැසියකු වරදක් කර ඇත්නම් නීති ප්‍රකාරව කටයුතු කරන්න

පුරවැසියකු වරදක් කර ඇත්නම් නීති ප්‍රකාරව කටයුතු කරන්න

සමාජ කි‍්‍රයාකාරි අසේල සම්පත් මහතා හෝ වෙනත් අයෙක් වරදක් කර ඇති අයෙක් වී නම් නීතිය මගින් සපයා ඇති ප‍්‍රතිපාදන අනුව පමණක් කටයුතු කරන ලෙසත්, වැරදි, අඩුපාඩු විවේචනය කරන්නවුන් මර්දනය කිරිම වෙනුවට වැරදි නිවැරදි කරගැනීම සඳහා කටයුතු කරමින් අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා පුද්ගලයාට ඇති අයිතිය ආරක්ෂා කරන ලෙසත් අපි මහත් ඕනෑකමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ජාතික වෘත්තිය සමිති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සමාජ කි‍්‍රයාකාරි අසේල සම්පත් මහතා නාඳුනන පිරිසක් විසින් පැහැර ගෙන ගිය බවට ආරංචියක් (25) දින රාති‍්‍රයේ පැතිර ගිය අතර ඉන් පැයකට පමණ පසුව අසේල සම්පත් මහතාගේ මුහුණු පොත් ගිණුම ඔස්සේ සමාජය අමතා තිබූ ඒ මහතාගේ දියණිය අදාල ආරංචිය සත්‍ය බව තහවුරු කර තිබිණි.
විසි දෙනෙකුට වැඩි නාඳුනන පිරිසක් තම නිවසට පැමිණ කළහකාරී ලෙස හැසිරුණු බවත්, තම සහෝදරයාට ද අශෝභන ආකාරයෙන් තර්ජනය කළ බවත්, තම පියා බලහත්කාරයෙන් රැුගෙන ගිය බවත් ඇය එමගින් තියා තිබිණි. පැමිණි පිරිසේ අනන්‍යතාවය පෙන්වන ලෙස තමන් ඉල්ලා සිටිය ද ඔවුහු එසේ නොකළ බව ඇය වැඩිදුරටත් කියා තිබිණි. ඇය මේ බව කලම්බු පේජ් වෙබ් අඩවියට ද ප‍්‍රකාශ කොට තිබිණි.

අසේල සම්පත් මහතා රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත්, එය පිළියන්දල පොලිස් ස්ථානය දැනවත් කොට සිදු කරන ලද්දක් බවත්, පසුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් ප‍්‍රකාශ කෙරිණි.

(26) දින අධිකරණයෙන් ඇප ලබා පැමිණි අසේල සම්පත් මහතා තමන් මුහුණ පෑ බිහිසුණු අත්දැකිම මාධ්‍ය ඉදිරියේ කියා සිටි අතර තමන්ට සිදුවි ඇති ශාරිරික තුවාල ද මාධ්‍ය වෙත පෙන්වා සිටියේ ය.

කිසියම් පුද්ගලයෙක් වරදක් කර ඇත්තේ නම්, සමාජයේ ආරක්ෂාව සළකා ඒ සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම කළ යුතුය. එසේ කළ යුත්තේ නීතිය මගින් ප‍්‍රකාශිත නිසි ක‍්‍රමවේදය අනුව යි. විමර්ෂණයට පැමිණෙන අය තමන්ගේ අනන්‍යතාවය පෙන්වා සිටිිමට බැඳි සිටින අතර අනෙක් පාර්ශවයට එය ඉල්ලා සිටිමට ඇති පුර්ව අයිතිය නීතිය මගින් තහවුරු කර ඇති බව කවුරුත් දන්නා කරුණකි.

ඉහත කියැවුණු පිරිස් පැමිණෙද්දී අසේල සම්පත් මහතා සිට ඇත්තේ තම නිවසේ ය. මිනීමැරීම් ඝණයේ අපරාධයක් කළේ නම් ඔහු නිවසේ රැුඳි නොසිටිනු ඇත. අසේල සම්පත් මහතා වෙනත් බරපතල අපරාධයක් කර ඇති බවට චෝදනාවක් ද අසන්නට නොලැබිණි. එසේ නම් බිහිසුණු ඝණයේ අපරාධකරුවකු ඇල්ලීම සඳහා කරන කි‍්‍රයාන්විතයකට මෙන් පිරිසක් එවීමේ අවශ්‍යතාවක් ද අපට නොපෙනේ.

ඒ අනුව, මෙය හුදෙක්ම සමාජ කි‍්‍රයාකාරිකයින් මර්දනය කොට නිදහස් කිරිම සඳහා ආණ්ඩුව විසින් සිදුකරන ලද කි‍්‍රයාවක් ලෙස පෙනී යයි. ආණ්ඩුවේ මෙම පහත් කි‍්‍රයාව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පිළිකුලෙන් හෙළා දකිමු.

තම පවුලේ සාමාජිකයින් ඉදිරියේ අඩම් තේට්ටම් කොට බිය ගන්වා සමාජ කි‍්‍රයාකාරිකයින් මර්ධනය කිරීම මෙරට සියළු ආණ්ඩුවලට සුපුරුදු දෙයක් බැව් අපි දනිමු. පසුගිය කාලයේ නාඳුනන පිරිස් විසින් පැහැරගෙන ගිය බෙහෝමයක් මෙතෙක් ආපසු නොපැමිණි බව කවුරුත් දනී. පැමිණි ඇතමුන්ගේ ද, ශරීරයේ ඇට බිඳි තිබිණි.

සමාජ මාධ්‍ය ඔස්සේ මිනිසුන්ගේ අදහස් දැක්වීම මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින අවස්ථාවක අසේල සම්පත් මහතා පැහැරගෙන යාම පැරණි මර්ධන හස්ථය නැවත දිගහැරිමක් ලෙස අප දකිමු. එබැවින්, වරදක් කර ඇති අයෙක් වී නම් නීතිය මගින් සපයා ඇති ප‍්‍රතිපාදන අනුව පමණක් කටයුතු කරන ලෙසත්, වැරදි, අඩුපාඩු විවේචනය කරන්නවුන් මර්දනය කිරිම වෙනුවට වැරදි නිවැරදි කරගැනීම සඳහා කටයුතු කරමින් අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා පුද්ගලයාට ඇති අයිතිය ආරක්ෂා කරන ලෙසත් අපි මහත් ඔනෑකමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.