කෙහෙළියගේ 'කාලකන්නි' ප්‍රකාශය ගැන සමාජ ජාල ඔස්සේ කෝපය පළ වෙයි

කෙහෙළියගේ 'කාලකන්නි' ප්‍රකාශය ගැන සමාජ ජාල ඔස්සේ කෝපය පළ වෙයි

කෙතරම් වටිනා දෙයක් ලැබුනත් එහි අගයක් නැති 'සිරි කාලකන්නිගේ' ප්‍රශ්නය උමන්දාවේ එන වෘතාන්තයකි.

සමාජයේ අසරණ මිනිසෙකු තේමා කර ගත් එය සිංහල බෞද්ධ සමාජය අතර ජනප්‍රිය කතා පුවතකි.

එහෙත් අද 21 වෙනි සියවසයේ, 'කාලකන්නි' ප්‍රශ්නයක් මතුව ඇත්තේ 'දේශපාලකයන් විසින් ගුරුවරුන් කාලකන්නි තලයට ඇද දැමීමේ' ප්‍රකාශයක් මුල් කර ගනිමිනි.

ඊට හේතු වී ඇත්තේ ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීම සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කළ ප්‍රකාශයකි.

"හතළිස් තුන් ලක්ෂයක් මේ රටේ ඉන්න ඒ දරුවන් බලාපොරොත්තු වෙන තමන්ගේ ගුරු දේවයන් විදිහට ඉන්න කණ්ඩායම මෙහෙයවනවා නම් කවුරු හරි කිහිප දෙනෙක්, ඉතාමත් කාලකන්නි කණ්ඩායමක් විදිහටයි මට සලකන්න වෙන්නේ."

ඇමතිවරයා එසේ පවසා තිබුණේ බදාදා (ජුලි 14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

මේ වන විට එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල තුළ උණුසුම් මාතෘකාවක් වී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් විශාල වශයෙන් කෝපය පළ වෙයි.

Facebook comment

| ඇමතිවරයාගේ ප්‍රකාශය හෙලා දකිමින් පළ කර ඇති ඇතැම් 'පෝස්ට්' දහස් ගණනින් 'ෂෙයාර්' වී ඇත.

Facebook comment

"දේශපාලන උපක්‍රමයක්"

මේ අතර කලක් ගුරු වෘත්තිය ක්ෂේත්‍රයට සම්බන්ධව සිටි ලේඛකයෙකු සහ විචාරකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඒ සම්බන්ධයෙන් දක්වන්නේ වෙනස් අදහසකි.

"මේක මේ වෙලාවේ ලංකාවේ දේශපාලනයේ උපක්‍රමයක්. හැම සුමානෙම එෆ්බී එකට 'කරන්ට් ටොපික්' එකක් දෙනවා. ඒ ලණුව දිදී ඉන්නවා හැම සතියෙම, චුයින්ගම් එකක් විසි කරනවා මීඩියාවලට හප හප ඉන්න."

'BBC ද ඇතුළුව' ලංකාවේ මාධ්‍ය ආයතන එම "ලණුවට හසුවී" ඇති බව ඔහුගේ අදහසය.

"අද වෙද්දි, ෆින්ලන්ත අධ්‍යාපනය දක්වා ගත්තවිට ඉතාම දියුණු 'කොන්සෙප්ට්' විශාල ප්‍රමාණයක් ගොඩනැගිලා තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ මේ එකක්වත් අපේ රටේ දේශපාලනඥයෝ දන්නවද කියන දේ."

"ඊට පස්සේ වෙන්නේ කවුරුහරි ඉගෙන ගත්ත නැති මැට්ටෙක් දේශපාලකයෙක් වුණාම ඌ කියන එක අල්ලාගෙන අපි, මාධ්‍යයි, කාලයයි, ශ්‍රමයයි ඔක්කොම වැය කර දානවා." යනුවෙන් ඔහු කියා සිටියේ BBC සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"අනෙක් අතින් කාලකන්නියා කියන්නේ කාලය විනාශ කරපු එකෙක්නේ. මේ රටේ ගුරුවරු තමයි දරුවන්ට ඉගැන්නුවේ කාලය රන් හා සමානයි කියලා. ගුරුවරයෙක් උගන්නන්නේ පැය 02 ක් වුණාට සමහර වෙලාවට එතන තියනවා ගුරුවරයාගේ වසර 50 ක බුද්ධිමය ශ්‍රමය එකතුවක්, උගන්නන්නේ පැය බාගයක් වෙන්නත් පුළුවන්."

"මේ රටේ ඉන්නේ එහෙම මනුස්ස ජීවිත ගැන තක්සේරුවක් තියෙන ජාතියක් නෙමෙයි. මනුෂ්‍ය ජීවිතවල වටිනාකම තියා, වහල්ලු ජාතියක් වශයෙන් තමයි අපේ රටේ මිනිස්සුන්ට සලකන්නේ."

"අපි උද්ධෘත කරනවා චිංගීස් අයිත්මාතොව්, ගුරු ගීතය ගැන, ගාන්ධි ගැන. ඒ එක රෙද්දක්වත් වැඩක් නෑ, මේ රටේ කාලකන්නින්ට මේක තේරෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස." යනුවෙන් ඔහු සඳහන් කළේය.

"ලංකාවේ ඇත්ත ප්‍රශ්නය"

Upul Sannasgala

| "ගුරුවරයෙක් උගන්නන්නේ පැය 02 ක් වුණාට සමහර වෙලාවට එතන තියනවා ගුරුවරයාගේ වසර 50 ක බුද්ධිමය ශ්‍රමය එකතුවක්,"

සතියෙන් සතිය, දිනෙන් දින අලුත් වෙන 'ෆේස්බුක් ලණු' නොව, මේ මොහොතේ රට හමුවේ ඇති "ඇත්ත ප්‍රශ්නය" හඳුනා ගත යුතුව ඇතැයි විචාරක උපුල් ශාන්ත සන්නස්ගල පෙන්වා දෙයි.

"මේ රටේ ඇත්ත ප්‍රශ්නය, මේ රටේ මිනිස්සුන්ට ඇත්ත නොකියන එක. මීඩියා ඒ ගැන කියන්නේ නැහැ. චීනෙන් මේ වෙද්දී සැලසුම් කරනවා 'One belt, One Road' කියලා එකක් (එකම තීරයක්, එකම මාවතක්). ඒකේ කොටසක් අපි."

"අපිට විදේශ විනිමය නෑ, අපිට ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ඇත්ත ගැන මිනිස්සු දන්නේ නැහැ. ඒකත් එක්ක අපි මහ විනාශයක ඉන්නේ කියන දේ තමයි මම දකින ඇත්ත කාරණාව," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පසුබිම

Keheliya Rambukwella | "හතළිස් තුන් ලක්ෂයක් මේ රටේ ඉන්න ඒ දරුවන් බලාපොරොත්තු වෙන තමන්ගේ ගුරු දේවයන් විදිහට ඉන්න

         කණ්ඩායම මෙහෙයවනවා නම් කවුරු හරි කිහිප දෙනෙක්, ඉතාමත් කාලකන්නි කණ්ඩායමක් විදිහටයි මට සලකන්න වෙන්නේ."

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව පසුගිය ජුලි 08 වෙනිදා පාරිලිමේන්තු පිවිසුම ආසන්නයේ පැවති විරෝධතාවට එක් වූ 30 කට අධික පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කරනු ලැබුව ද පොලිසිය මැදිහත් වී ඔවුන් නිරෝධායනය වෙත යොමු කෙරිණි.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු එම පිරිස නිරෝධායනයට යොමු කරනු ලැබ ඇත්තේ "නීති විරෝධී" ලෙස යයි චෝදනා කරන ගුරු සේවා සංගම් ඊට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජුලි 12 වෙනිදා සිට මාර්ගගත අධ්‍යාපන කටයුතුවලින් (ඔන්ලයින් අධ්‍යාපනය) ඉවත් විය.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත යනු හමුදාව යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට සහ 'මිලිටරීකරණය' කිරීමට ගන්නා වූ උපක්‍රමික උත්සාහයක් බව ඊට විරුද්ධ කණ්ඩායම් පවසති.

රජය මෙම චොදනා ප්‍රතික්ශේප කරන අතර ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත් වීම "ඉතාම ප්‍රාථමික මට්ටමේ ක්‍රියාමාර්ගයක්" බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පැවසීය.

මේ අතර විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සහ නිරෝධායනය කිරීම සිදු කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගය මත යයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

කොවිඩ් සෞඛ්‍ය නීතිවලට මුවා වී ආණ්ඩුව ජන විරෝධතා මර්දනය කරන බවට විපක්ෂ කණ්ඩායම් චෝදනා කරති.

සුනෙත් පෙරේරා / BBC සිංහල