රට තුළ කොවිඩ් වේගවත් එන්නත්කරණයක

රට තුළ කොවිඩ් වේගවත් එන්නත්කරණයක

⦾ 96.8% කොළඹ ⦾ 95.6% ගම්පහ ⦾ 93.7% මාතලේ ⦾ 90.5% මන්නාරම

ඉතා වේගවත් එන්නත්කරණ වැඩසටහනක ප්‍රතිඵලයක් ලෙසින් මේ වන විට ශ්‍රී ලංකාව, ජගත් එන්නත්කරණ සාමාන්‍ය අගය පසුකර යෑමට සමත් වී තිබෙනවා. ප්‍රථමයෙන්ම  එන්නත් තොග ලබා ගැනීමට සමත් වූ ලොව බලවත් රාජ්‍යයන් හැරුණුකොට, එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුරවැසියන් ප්‍රතිශතය සැළකීමේ දී ඇතැම් දියුණු රටවල් පවා පසුකර යෑමට මේ වනවිට අපට හැකි වී තිබෙනවා.

මෙහි දී දැකිය හැකි සාධණීය තත්ත්වය වන්නේ කෙටි කාලයක් ඇතුලත විශාල පිරිසක් එන්නත් කරණය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයට ඇති හැකියාව පමණක් නෙමෙයි. ලාංකික ප්‍රජාව එන්නත්කරණය උදෙසා දැක්වු අති මහත් උද්‍යෝගයය අපගේ අවධානයට ලක්විය යුතු වැදගත්ම කාරණයක් . පළමුව එන්නත්කරණය ආරම්භ කළ දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 30 ට වැඩි පිරිසෙන් සියයට අනූවකට වඩා එක එන්නතක් හෝ මේ වන විට ලබාගෙන තිබීම එයට කදිම සාක්ෂියක්. සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ජාල තුළ භයානක ලෙස සංසරණය වූ දුර්මත හා මිත්‍යාවන් හමුවේ වුව ද, රටෙහි අති මහත් බහුතරයක් ජනතාව තම සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා නිවැරදි විද්‍යාත්මක තීරණයක් ගැනීම මේ අවස්ථාවේ අපි සතුටින් සිහිපත් කළ යුතු කරුණක් වනවා.

එන්නත්කරණය වේගයෙන් සිදු වෙමින් පවතින මේ අවස්ථාවේ දී, ලොව අනෙක් රටවල් වල අත්දැකීම් තුළින් අප උගත යුතු වැදගත් ම පාඩම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වනවා.

කොවිඩ් සඳහා යොදා ගැනීමට එන්නත් වලට අනුමැතිය ලැබුනු පළමු අවස්ථාවේ පටන්ම එන්නත් තොග ලබා ගැනීමට හැකි වු ඇතැම් රටවල මෑතක් වනවිට ජනගහනයෙන් ඉතා විශාල ප්‍රතිශතයක් එන්නත්කරණය සම්පූර්ණ කර තිබෙනවා අපි දක්නට ලැබෙනවා. එසේ ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් ආවරණය කළ රටවල පවා මෑතකදී විටින් විට වේගයෙන් කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්න වීම් නිරීක්ෂණය වුණා. ඒ රටවල පුරවැසියන් එන්නත් ලබාගැනීමෙන් පසු සුපුරුදු ආරක්ෂක ක්‍රමෝපායන් අමතක කරමින් හැසිරීම මෙසේ විටින් විට ඇති වූ වසංගත තත්ත්වයන්ට ප්‍රධාන හේතුවක් වු බව කියවෙනවා.

කොවිඩ් -19 සඳහා සිදුකෙරෙන එන්නකරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ වෛරසය ආසාදනයෙන් ඇතිවන බරපතළ රෝග තත්ත්ව මැඩපැවැත්වීමයි. තවත් විදිහකට කිවහොත් කොවිඩ් - 19 නිසා දරුණු ලෙස රෝගී වීම සහ සංකූලතා ඇතිවීම වැළැක්වීමයි. නමුත්, අප දැනටමත් දන්නා පරිදි එන්නත් ලබාගත් පමණින් රෝගය ආසාදනය විමෙන් 100% ක ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. රෝගය තව කෙනෙකුට පැතිරීමේ අවස්ථාව සියයට සියයකින් අඩු වෙන්නෙත් නැහැ. මේ කරුණු නිසා එන්නකරණයට ලක් වූ කෙනෙක් වගකීම් විරහිත ලෙස හැසිරෙනවා නම් ඔහු, තමන් රෝගී වීමේ අවදානම වැඩි කරගන්නවා වගේම එන්නත් කරණය සිදු නොකළ අන් සියලු දෙනාගේ ද ජීවිත අවදානමේ හෙළන බව කිව යුතුයි. එන්නතෙන් පසුවත් දිගින් දිගටම සෞඛ්‍ය පුරුදුවලට අනුගත විය යුතු බව නැවතත් ඔබට සිහිපත් කරන්නේ මේ තත්වයන් වළක්වාගැනීමට යි.

කොවිඩ්-19 එන්නත් මගින්,  රෝගයෙන් සිදුවන මරණ සංඛ්‍යාව මෙන්ම දැඩිසත්කාර අවශ්‍ය වන රෝගීන් ගණන ඉතා විශාල ලෙස පහළ හෙළන බව මේ වන විට ලෝකය පුරා රටවල ඉතා පැහැදිළිව  දක්නට ලැබුණු කරුණක්. ජනගහනයෙන් මෙතරම් විශාල පිරිසක් ඉතා කෙටි කාලයකදී එන්නත්කරණය කිරීමට හැකිවීම අප ලද විශාල ජයග්‍රහණයක්. එන්තෙන් පසුවද වගකීම් සහගතව හැසිරීම වගේම, ඒ වගකීම පැහැර හරින කෙනෙක් වේ නම් ඒ පුරවැසි වගකීම සිහිපත්කර දීම දීම, මේ මොහොතේ රට වෙනුවෙන් අපෙන් ඉටු විය යුතුම යුතුකමක්.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය