ගුරු අරගලයට පිරිවෙන් බලධාරින්ගෙන් බාධා

ගුරු අරගලයට පිරිවෙන් බලධාරින්ගෙන් බාධා

ඔබලා ද එක්විය යුතු අරගලයක් අප විසින් දියත් කරන මෙම අවස්ථාවේ ඊට පූර්ණ සහාය දියයුතුව ඇතත් එසේ නොවන්නේ නම් බාධා කිරීම්වලින් වැළකී සිටින්නේ නම් එයද ශක්තියකි වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ඒකකයේ, අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්), පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමිපාණන් වහන්සේ වෙත ලිපියක් යොමු කරමින් ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය ගුරු අරගලයට බාධා කරන පිරිවෙන් බලධාරීන් පිළිබඳව ලිපියක් මගින් දැනුවත් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

වසර 24 ක් තිස්සේ පවතින වැටුප් විෂමතාව ඉවත්කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ මළගම අරඹන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත වහා හකුළාගන්නා ලෙසත්. කොවිඞ් තත්වය නිසා අධ්‍යාපනය බිඳවැටී ඇති පිරිවෙන් සිසුන්ගේ මෙන්ම සමස්ත සිසු පරපුරේ අධ්‍යාපනය නංවාලීම සඳහා නොමිලේ සැමට ඔන්ලයින් පහසුකම් හා තාක්ෂණික පහසුකම් සපයාදෙන ලෙස හා අනවශ්‍ය වැඩ පැවරීම් මගින් නිතර තොරතුරු ඉල්ලා කරන බලපෑම් නතර කරන ලෙස හා තවත් කරුණු රාශියක් පදනම් කරගෙන ගුරු විහල්පති හා පිරිවෙන් ගුරු යන සියලූ ගුරු වෘත්තිකයින් මේ වන විට අඛණ්ඩ දින 15 ක් තිස්සේ අති සාර්ථක වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙන බව දැනටමත් දන්නා කරුණකි.

මෙසේ සමස්ථ ගුරු පරපුර වෘත්තීය අරගලයක යෙදෙන අවස්ථාවක ඇතැම් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිලධාරීන් පිරිවෙන් ගුරුවයාට පහත් ලෙස දෝෂාරෝපණය කරමින්, ONLINE කටයුතු කරන ලෙස හා තොරතුරු ඉල්ලා බලපෑම් කරන බව අපවෙත වාර්තාවී ඇත. එසේම ඇතැම් ප්‍රදේශවල කෘත්‍යාධිකාරී හිමිවරුන් පොළඹවා පිරිවෙන් පවාත්වා ගැනීමට දරණ උත්සාහයන් හා ගුරුවරුන්ට කරන බලපෑම්ද අප වෙත වර්තාවී ඇත.

අධ්‍යක්‍ෂ හිමිපාණනි,

ඔබ වහන්සේද පරිවේණාචාර්යවරයෙකි. වසර 24 ක් තිස්සේ පැවති ආණ්ඩුවලින් ගුරු පරපුරට කර ඇති මෙම මහා අපරාධයේ වින්දිතයෙකු බවට ඔබවහන්සේද පත්ව ඇත. එසේම පිරිවෙන් ඒකකයේ සිටින සියලූ පැවිදි ගිහි, උපදේශක, අධ්‍යක්‍ෂ, සහකාර අධ්‍යක්‍ෂ, විෂය උපදේශක ආදී කවර තනතුරු දැරුවද ඒ සැමදෙනා මෙම අසාධරණයෙන් බැටකා ඇති අයයි. දැනට ඉතා සාර්ථකව සිදුකරන ජයග්‍රාහී මෙම අරගලයෙන් දිනාගන්නා ප්‍රතිලාභ වර්තමාන ගුරුරුන් වන අපට මෙන්ම පිරිවෙන් ඒකකයට සම්බන්ධ ඔබ සැමදෙනාට ද ලැබෙනු ඇත.

ඔබලා ද එක්විය යුතු අරගලයක් අප විසින් දියත් කරන මෙම අවස්ථාවේ ඊට පූර්ණ සහාය දියයුතුව ඇත. එසේ නොවන්නේ නම් බාධා කිරීම්වලින් වැළකී සිටින්නේ නම් එයද ශක්තියකි.

ඉහත කරුණු එසේ හෙයින් දැනට විවිධ පළාත්වල පිරිවෙන් බලධාරීන් ගුරු අරගලයට බාධාවන ආකාරයට සිදුකරන බාධා වහා නතර කරවීම සඳහා ඉක්මන් උපදෙස් ලබාදී ජයග්‍රාහී අරගලයකට දායක වන ලෙස ඉතා  ඕනෑකමෙන් යුතුව ඉල්ලා සිටමු.