හදිසියේ සේවයට කැඳවීමෙන් ගර්භනී කාන්තාවන් හා කිරිදෙන මව්වරුන් අනාරක්ෂිතභාවයට පත්වෙලා

හදිසියේ සේවයට කැඳවීමෙන් ගර්භනී කාන්තාවන් හා කිරිදෙන මව්වරුන් අනාරක්ෂිතභාවයට පත්වෙලා

රාජ්‍ය සේවයට අදාළ Covid-19 යටතේ රාජ්‍ය සේවකයින් කැඳවීම පිළිබඳ සියලූ චක්‍රලේක අහෝසි කිරීම මඟින් ගර්භනී කාන්තාවන් හා කිරිදෙන මව්වරුන් අනාරක්ෂිතභාවයට පත්ව ඇති බවත් වහාම එය නිවැරිදි කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ජනාධිපති ලේකම්තුමාගේ අංක PS/PD-A1/07/06/02 හා 2021.07.29 දිනැති උපදෙස් ලිපිය අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේක 02/2021(iii) චක්‍රලේකය නිකුත් කරමින් Covid-19 වසංගත අවධානම යටතේ රාජ්‍ය සේවය සඳහා රාජ්‍ය සේවකයින් කැඳවීමට අදාළ සියලූම චක්‍රලේක අවලංගු කර ඇත.

එම අවලංගු කිරීමත් සමඟ 2021.08.02 දින සිට 100% ක් රාජ්‍ය සේවකයින් වාර්තා කළ යුතු අතර ඒ අතර සිටින ගර්භනී කාන්තාවන් හා වයස අවුරුද්දට අඩු කුඩා දරුවන් සිටින කිරිදෙන මව්වරුන් දැඩි අවධානමකට ලක් කර ඇති බවත් අප සංගමය අවධාරණය කරමු.

Covid-19 ලංකාව තුළ 4 වැනි රැල්ලක් ව්‍යාප්තවීමේ අවධානමක් පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් අවධාරණය කර ඇති පසුබිමක රජය විසින් ගෙන ඇති ඉහත තීරණය වැඩ කරන ජනතාවට එරෙහිව ගෙන ඇති තීරණයක් ද යන්න පැහැදිලි කරගත යුතුව ඇත.

2021.08.01 දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් නිකුත්කර ඇති නිවේදනයෙන්ද අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය Covid-19 ආසාධිතයින් ඉහළ යමින් පවතින බවත් ඊට හේතුව ඩෙල්ටා ප්‍රභේදය සමාජගත වීම හා සංචරණය ඉහළ යෑම ඇතුළු කරුණු බව වැඩිදුරටත් එම සංවිධානය අවධාරණය කරයි.

  1. සමස්ත රාජ්‍ය සේවයෙන් 3:1 අනුපාතය අනුව කැඳවමින් පවත්වාගෙන යමින් සිට එකවර 100% දක්වා විවෘත කිරීම අවධානම් තත්වය හා සෞඛ්‍ය මාර්ගොපදේශ අනුව නිවැරදි තීරණයක් ද යන්න ප්‍රශ්නකාරී වේ.
  2. රාජ්‍ය පරිපාලන 02/2021(iii) චක්‍රලේකය මඟින් පැවති ආරක්ෂිත ක්‍රමවේද සියල්ල අවලංගු කිරීමත් සමඟ පොදු ප්‍රවාහන සේවාවලට අදාළ බස් හා දුම්රිය හරහා ගර්භනී රාජ්‍ය නිලධාරියන්, වයස අවුරුදු 01ට වඩා අඩු දරුවන් සහිත කිරිදෙන නිලධාරිනියන් වසංගත තත්වයට ගොඳුරුවීමේ අවධානම,
  3. සමස්ත රාජ්‍ය සේවයේම රාජ්‍ය සේවකයින් සඳහා 100% ක් එන්නත ලබා නොදීම,
  4. රාජ්‍ය සේවයේ නියුතු වයස අවුරුදු 30 ට අඩු රාජ්‍ය සේවකයින්ට එන්නත් ලබා නොදී තිබීම,
  5. විධිමත් හා ප්‍රමාණවත් සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදීමක් මේ දක්වාත් සිදු නොවූ අතර 100% රාජ්‍ය සේවයට කැඳවීමේ වැඩසටහන තුළත් එවැනි වැඩපිළිවෙළක් නොමැති වීම,
  6. හෘද සැත්කම් ඇතුළු විවිධ සැත්කම් වලට භාජනය වූ පිරිස්, වෙනත් රෝගී තත්වයන් සහිත ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය බිඳවැටීමේ අවධානම සහිත රාජ්‍ය සේවයේ නියුතු පිරිස සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම,
  7. මෙම තීරණය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකිවයුතු සෞඛ්‍ය බලධාරීන් අනුමත කර තිබේද යන්නත්, සෞඛ්‍ය අංශ මඟින් හා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අවධාරණය කරන කරුණු වලට අනුව ආණ්ඩුව ගෙන ඇති මෙම තීරණය පරස්පරතාවයක් සහිත වීම,
  8. 2021.08.01 දක්වා දිනකට Covid-19 මරණ වාර්තාවීම 50 - 70 අතර පැවතීම හා ආසාධිතයින් ඉහළ යමින් පවතින වටපිටාවක සියලූ චක‍්‍රලේක අවලංගු කර 100% ක් රාජ්‍ය සේවකයින් ලක්‍ෂ 15 ක් පමණ ආයතනවලට දිනපතා කැඳවීම වෙනුවට පැවති ක්‍රමයත්, 100% අතර අතරමැදි විද්‍යාත්මක හා සෞඛ්‍යාරක්ෂිත වැඩ පිළිවෙළකට ආණ්ඩුව ගමන් කළ යුතුව තිබූ බව පෙන්වා දෙන්නෙමු.

ඉහත කරුණු සලකා බලා ගර්භනී රාජ්‍ය නිලධාරිනියන් හා වයස අවුරුදු 01 ට අඩු කුඩා දරුවන් සහිත රාජ්‍ය නිලධාරිනියන් හා අවධානමක් සහිත සෙසු පිරිස් රාජ්‍ය සේවයට කැඳවීම සම්බන්ධයෙන් පැවති ක්‍රමවේදය අනුගමනය කරන ලෙසත්, සමස්ථ රාජ්‍ය සේවයම දිනපතා පොදු ප්‍රවාහනය තුළ හා කාර්යාල තුළ සංසරණයවීම හරහා සිදුවිය හැකි අවධානම සැලකිල්ලට ගනිමින් වඩා නිවැරදි තීරණයන් ක්‍රියාත්මක කරන ලෙසත් අප සංගමය ආණ්ඩුවෙන් හා රජයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.