අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇප මත මුදා හරි

අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇප මත මුදා හරි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරු - විදුහල්පති විරෝධතාවයක් පවත්වා නිරෝධායන නීති උල්ලංඝණය කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් ගුරුවරු 40 දෙනකු ඇතුළු 44 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (05) නියෝග කළේය.

සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් එසේ ඇප මත මුදා හැරියේය.

මංමාවත් පනත, නිරෝධායන ආඥා පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහය ප්‍රකාරව මෙම සැකකරුවන් වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් පොලිසිය ඊයේ (04) මෙම සැකකරුවන් 44 දෙනා අත්අඩංගුවට ගෙන අද (05) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත්විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 44 දෙනාගෙන් 40 දෙනකු දෙනෙකු ගුරුවරුන් වන අතර සෙසු හතර දෙනා රියදුරන් වශයෙන් කටයුතු කල අය බවද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරියාගම මෙනවිය ඇතුළු නීතිඥ මඩුල්ලක් සමඟ පොලීසිය අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල (04) දින සිදුකළ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුලු 44 දෙනා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ගෙන ආ අවස්ථාවේ වෘත්තීය සමිති සාමාජිකයන් එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් අත්අඩංගුවට ගත් ගුරුවරුන් දිරිමත් කරමින් සටන් පාඨ කියනු දක්නට ලැබිණ.

විපක්ෂනායකට පොලිසියෙන් සද්දයක් !

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවයට එක්වූ බවට චෝදනා කරමින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (05) පෙරවරුවේ එම පරිශ්‍රයට පැමිණි අතර එහිදී වරාය පොලිසිය විසින් ඊට බාධා පමුණුවනු ලැබිය.

එම අවස්ථාවට එක්ව සිටි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් විපක්ෂනායකවරයාට එම ඇතුළුවීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් විරෝධයක් මතුකිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙහිදී සජිත් ප්‍රේමදාස විමසා සිටියේ රටක විපක්ෂනායකවරයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ නීතිඥවරුන්ට පොලිසියක් තුළට යෑමට අවසර නැත්නම් රටක ඇත්තේ කිනම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි යනුවෙනි.

එමෙන්ම, අත්තනෝමතික ලෙස රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමේ වගකීම විපක්ෂනායකයා ලෙස තමන්ට ඇති බවත් මේ පිළිබඳව තමන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගන බවත් සජිත් ප්‍රේමදාස මෙහිදී සඳහන් කළේය.