සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙඩ්ඩු හොයා ගන්න එකට බය වෙලා පරීක්ෂණ අඩු කරන්න උපදෙස් දෙනවා

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙඩ්ඩු හොයා ගන්න එකට බය වෙලා පරීක්ෂණ අඩු කරන්න උපදෙස් දෙනවා
  • සෞඛ්‍ය අමාත්‍යංශයේ වැරදි මතවාදය හේතුවෙන් රට වැසීමෙන් ලැබිය හැකි ප්‍රතිඵල වලින් 80% ක් ලබා ගත නොහැකි තත්ත්වයට පත් වී ඇත.
  • ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථාවලට අනූව ශ්‍රී ලංකාව පරීක්ෂණ මගින් සොයා ගන්නේ අසාධිතයින්ගෙන් 8%ක් පමණි. එනම් අප සොයා ගනු ලබන රෝගීන් මෙන් පස් ගුණයකට වඩා අසාධිතයින් රට තුල සිටින බවය.

මෙම තත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් සිදු වන බව පෙනෙන්නට තිබෙන අතර, පරික්ෂණ ප්‍රමාණය වැඩි කිරීම මගින් හමුවන රෝගීන් ප්‍රමාණය වැඩි වුවහොත් එය රජයට දැරිය නොහැකි බරක් විය හැකි බැවින්, එසේ නොකර සිටීමට හේතුව එය බව පවසමින් ඇතැම් වසංගත රෝග ප්‍රධානීන් හා දේශපාලකයින් ජනාධිපතිවරයාව නොමග යවමින් සිටින බව පෙනෙන්නට තිබේ. එමගින් සිදුවන්නේ රෝගීන් රෝගයක් පවතින බව පවා නොදැන මිය යන්නට සැලසවීමක් බැවින් එය අතිශය සාපරාදී තීරණයකි.

අවම වශයෙන් තමන් ආසාදිතයෙකුද, නැත්ද යන්න තහවුරු කර ගැනීම සදහා පහසුකම් සැලසීම රජයක වගකීමවන අතර, එම වගකීම පවා පැහැරහරින සෞඛ්‍ය අමාත්‍යාංශයක් කුමක් සදහාද යන්න පවා ගැටළුවකි. එසේම අසාධිතයින්ගෙන් 80%ක් පමණ රජයට කිසිදු බරක් නොවන සේ කළමනාකරණය  කරගත හැකිව තිබියදී, රෝගීන් නිවැරදිව හදුනා ගැනීම කිසිසේත්ම අමතර බරක් වන්නේ නැත.

රෝගීන් සොයා නොගෙන සිටීමේ ප්‍රතිපත්තිය මගින්, ප්‍රතිකාර අත්‍යවශ්‍ය 5% කටත් වඩා අඩු මහ ජනතාව රෝහලක් සොයාගන්නාවිට ජීවිතක්ෂයට පත්වී තිබීමට බොහෝ ඉඩකඩ පවතින බැවින්, මෘතදේහ වලට පරීක්ෂණ කර කොවිඩ් සොයා ගන්නා ප්‍රතිපත්තිය අප වහා වෙනස් කල යුතුය.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ එම වාර්ථාවට අනූවම, ආසියාතික කලාපයේ රට වැසීම් සදහා වන අවශ්‍යතා සැපිරූ රටවල් අතුරින්, එම කාලයන් තුල අවම සංචරණ සීමා අනුගමනය කල රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් විය.

ඒ අනුව ලොක් ඩවුන් කාලය නිවැරදි විද්‍යාත්මක පදනමකින් කළමනාකරණයකර නොගැනීම හේතුවෙන්, එක් ලොක් ඩවුන් කිරීමකින් ලැබිය හැකි ප්‍රතිපල සදහා ලොක් ඩවුන් පහක් පමණ කිරීමට සිදු වී ඇති බව තහවුරු වේ. දැනට පවතින ලොක් ඩවුන් කාලයද එලෙස 80%ක් පමණ අප නාස්තිකොට ඇති බැවින්, තවදුරටත් දැඩි සංචරණ සීමාවන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පහව ගොස් නැත. නමුත්, පරීක්ෂණ ධාරිතාව සීමා කරමින්, විද්‍යාත්මක භාවිතාවක් නොමැතිව නැවත නැවත ලොක් ඩවුන් කිරීම වෙනුවට, ලොක් ඩවුන් කිරීමට පෙර අවශ්‍යතාවයන් සදහා හොද සූදානමක් සහිතව සංචරණ සීමාවන් පැනවීමක් සැලසුම් කිරීම වෛරසයේ ශීඝ්‍ර පැතිරීම පාලනය කිරීමට තවදුරටත් අත්‍යාවශ්‍යය.

රවී කුමුදේශ්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය