කොරෝනා වලින් මිය යන රාජ්‍ය සේවකයින්ගේ වැටුප කාලය අවසන් වන තෙක් ගෙවන ලෙස ඉල්ලීමක්

covid-death

සක්‍රීය රාජ්‍ය සේවයේ යෙදී සිටිය දී Covid-19 ආසාධිතව මිය යන සියලූ රාජ්‍ය සේවකයින් සඳහා සේවා කාලය අවසන් වන තෙක් වැටුප් ගෙවීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය ඉල්ලා සිටී.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, Covid-19 වෛරස් ව්‍යාප්තිය ඉතා වේගයෙන් රටපුරා ව්‍යාප්ත වෙමින් නව ප්‍රභේද හරහාද එම තත්වය උග්‍රකර ඇති බව පැහැදිලිය. මුළු රටම Covid-19 උවදුරෙන් මුදවා ගැනීම අප කාගේත් වුවමනාව වුවද එය පාලනය කරගැනීමට අපොහොසත් වී ඇත.

පවතින Covid-19 වසංගත තත්වයට අද රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ විශාල රාජ්‍ය සේවකයින් ප්‍රමාණයක් ගොඳුරු වී ඇත. සංවර්ධන නිලධාරීන්, අභ්‍යාසලාභී උපාධිධාරීන්, ග්‍රාම නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අයත් පිරිස්, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට අයත් පිරිස් මේ වනවිට සක්‍රිය සේවයේ යෙදී සිටිය දී මිය ගොස් ඇත.

ඒ අතර පොලිස් දෙපාර්තමේන්තුව යටතේ සේවයේ නියුතුව Covid-19 වැළඳී මිය ගිය පිරිස සඳහා සේවා කාලය අවසන්වන තුරු අදාළ නිලධාරියාගේ වැටුප් අඛණ්ඩව ගෙවීමට විෂයභාර අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් කටයුතු කිරීමට සැරසෙන බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. ආණ්ඩුවක් ලෙසත්, පොලිස් නිලධාරීන්ගේ විෂයභාර අමාත්‍යවරයා ලෙසත් එවැනි තීරණයක් සැබවින්ම ගැනීමට සූදානම් නම් අප එය අගය කළයුතුව ඇත. මෙම අවධානම් තත්වය යටතේ අවධානම් රාජකාරි සිදු කරන සමස්ථ රාජ්‍ය සේවයට එවැනි තීරණයක් දැවැන්ත ශක්තියක් හා ධෛර්යක් වනු ඇත.

සංවර්ධන නිලධාරීන් ඇතුළු අභ්‍යාසලාභී උපාධිධාරීන් සක්‍රිය සේවයේ යෙදී සිටිය දී 05 දෙනෙකු පමණ මේ වනවිට Covid-19 ආසාධනය වී මිය ගොස් ඇත. වෙනත් සේවාවන්වලද එසේ මිය ගිය ප්‍රමාණයක් ඇත.

රාජ්‍ය සේවා, පළාත් රාජ්‍ය සේවාවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, අභ්‍යාසලාභී උපාධිධාරීන්, ග්‍රාම නිලධාරීන්, රාජ්‍ය කළමනාකරණ නිලධාරීන්, සෞඛ්‍ය ඇතුළු සියලූ සේවාවන් වල සක්‍රිය සේවයේ යෙදී සිටිය ද Covid-19 ආසාධනය වී මිය යන සියලූම රාජ්‍ය සේවකයින් සඳහා සේවා කාලය අනුව නියමිත වැටුප විශ්‍රාම යන තෙක් ගෙවීම සඳහා විෂයභාර අමාත්‍යවරයා වශයෙන් ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමු.