සංචාරක කර්මාන්තයේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක වනවාද ?

hotel-workers

2021. 09. 03 දින ඔබේ අංක DGHS/COVID-19/2021/347 යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද සංචාරක කර්මාන්තයට අදාලව නිකුත් කරන ලද මාර්ගෝපදේශ අදාලව සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසත්, හෝටල් සේවකයන්ට එන්නත්කරණයේ දී ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් හෝටල් සේවක මධ්‍යස්ථානය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,  ඉහත මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති අතර, සංචාරකයින් සඳහා රට විවෘත කරන්නේ නම් හෝටල් සේවක පාර්ශවයෙන් බලාපොරොත්තු වන සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳව කරුණු අප සංගමය විසින් 2021. 08. 28 දිනැතිව ඔබ වෙත දැනුම් දීමෙන් අනතුරුව 2021. 09. 03 දිනැතිව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරන ලද මෙම සෞඛ්‍ය නිර්දේශ (සංචාරක කර්මාන්ත සඳහා) පිළිබඳ අප ස්තූතිය පලකර සිටිමු.

කෙසේ වෙතත්, මෙවැනිම සෞඛ්‍ය නිර්දේශ ප්‍රමාණයක් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් 2021. 01. 06 දිනැතිව ද නිකුත් කර තිබුනත් සංචාරක හෝටල් තුල එම නිර්දේශ එසේ ක්‍රියාත්මක නොවූ බව අප සංගමය එම ලිපියෙන් ද පෙන්වා දී ඇත. පෙර නිර්දේශ නිකුත් කිරීමෙන් පසු ජෛව ආරක්‍ෂිත සංචාරක බුබුළු තුල ක්‍රියාත්මක වූ සේවකයන් කොවිඩ්-19 න් ආරක්‍ෂා වීම සඳහා පිළිපැදිය යුතු මූලික සෞඛ්‍ය ආරක්‍ෂිත උපක්‍රම භාවිතා නොකිරීම සේවකයන්ට බරපතල අනතුරුදායක තත්වයක් ඇති කරනු ලබයි.

එමෙන්ම මේ වනවිට රටට ලැබෙන එන්නත් තොග වලින් කොරෝනා වෛරසයේ ඍජු අවදානමට ලක්වන හෝටල් සේවකයා ප්‍රමුඛ ලෙස සලකා එන්නත්කරණය සිදු නොවීමත්, හොඳම එන්නත් ලෙස ප‍්‍රසිද්ධ ෆයිසර් වැනි එන්නත් අවිධිමත් ක්‍රමවේදයන් තුල තෝරාගත් ප්‍රදේශයන්ට ලබාදීම වැනි කි‍්‍රයා පිළිබඳ අප සංගමය විරෝධය පලකරන බවද ප්‍රකාශ කර සිටිමු.

එබැවින් මෙම තත්ත්වය දැඩිව සැලකිල්ලට ගෙන අදාල සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසත්, හෝටල් සේවකයන්ට එන්නත්කරණයේ දී ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසත් නැවත අවධානයට ලක්කර සිටිමු.

එසේ නොමැතිව ඉන්දියන් සංචාරකයන් ඇතුළු සංචාරකයන් රට තුළට පැමිණීම තුළ සේවක ප්‍රජාව බරපතල සෞඛ්‍ය තර්ජනයකට මුහුණපෑමට ඉඩ ඇත.