ගුරු-විදුහල්පතිවරුන් බියගැන්වීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙලක්

teachers-president-office

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ලබාදෙනවා වෙනුවට පොලීසිය යොදා ගනිමින් ගුරු-විදුහල්පතිවරු බිය ගැන්වීමට ආණ්ඩුව උත්සාහ දරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ගුරු-විදුහල්පති සේවාවල පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමට බලකරමින් 2021.07.12 දින සිට සියලූ ගුරු විදුහල්පතිවරු වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරතව සිටී. ඒ සම්බන්ධයෙන් පැවති වීදි සටන් කෝවිඞ් 19 වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන 2021.08.06 දින නතර කිරීමට කටයුතු කළද මේ වන විට 59 වන දිනටත් ගුරු-විදුහල්පති වැටුප් අරගලය සාර්ථකව ඉදිරියට ගෙන යමින් තිබේ. ඒ අනුව වීදි උද්ඝෝෂණ නරත කර මේ වන විට මසකට වැඩි කාලයක් ගතව ඇත.

එසේ තිබියදී ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව කරුණු අනාවරණය කර ගැනීම සඳහා වාර්තාවක් කැඳවීම’ මැයෙන් 2021.09.04 දිනැතිව හොරණ මූලස්ථාන පොලිස් ස්ථානයේ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් හොරණ, ඉංගිරිය, මදුරාවල, මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම්වරු අමතා ලිපියක් නිකුත් කොට ඇත. එම ලිපියේ සඳහන් කර ඇත්තේ 2021.07.25 සහ 2021.08.05 යන දිනයන්හිදී ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් පවත්වන ලද රැුස්වීම්, පෙළපාලි හා උද්ඝෝෂණ පවත්වන ලද ස්ථාන, සංවිධානය කරන ලද පුද්ගලයින්, සහභාගි වූ සංඛ්‍යාව, එම උද්ඝෝෂණ පැවති දිනයෙන් පසුව කෝවිඞ් 19 අසාදිතව මියගොස් හා ආසාදිත වූ ගුරු විදුහල්පතිවරු පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසයි.

ආණ්ඩුව විසින් දිගින් දිගටම ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලූවට විසඳුම් ලබාදීම මගහරිමින් ගුරු-විදුහල්පති උද්ඝෝෂණ හේතුවෙන් කෝවිඞ් ගුරු පොකුරක් නිර්මාණය වූ බව තහවුරු කිරීමට කටයුතු කරමින් සිටී. 2021.08.04 දින ජනාධිපති ලේකම් කාර්යාලය අසලට රථ පෙළපාලියෙන් පැමිණ විරෝධතාවයේ නිරතව ආපසු යමින් සිටි ගුරුවරු සහ විදුහල්පතිවරු 44 දෙනෙක් අනීතිකව අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලීසියේ රදවා ගෙන ඇන්ටිජන් පරීක්ෂාවන් කරමින් පොලීසිය උත්සාහ කළේද ඔවුන් අතරින් කෝවිඞ් අසාදිතයන් සොයා ගැනීමටය.

එසේම ආමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් 2021.09.07 දින පාර්ලිමේන්තුවේදී උද්ඝෝසණ නිසා කෝවිඞ් ආසාදිතව ගුරුවරු 25 ක් මියගොස් ඇති බවට අසත්‍ය ප‍්‍රකාශයක් සිදු කිරීමෙන් ද, ආණ්ඩුවට සම්බන්ධ පොදුජන අධ්‍යාපන සේවක සංගමයේ සභාපතිනිය වන වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ප‍්‍රකාශ කරන ලදැයි සියළුමිණ පුවත්පතේ පළ කරන ලද අසත්‍ය පුවතින්ද උද්ඝෝෂණ හේතුවෙන් කෝවිඞ් 19 අසාදිතව ගුරුවරු මියගියේ යැයි තහවුරු කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය පැහැදිලි වේ.

එසේම ඉහත දැක් වූ ආකාරයට පොලීසිය යොදා ගනිමින් ද එම කරුණ තහවුරු කිරීමටත්, ගුරුවරු සහ විදුහල්පතිවරු බියගැන්වීමටත් කටයුතු කරමින් සිටීම කනගාටුදායක තත්වයකි. කෝවිඞ් 19 ව්‍යාප්තිය වළක්වා ගැනීමට ආණ්ඩුවට නොහැකි වීම තුළ ගුරු පොකුරු නිර්මාණය කිරීමට උත්සාහ නොදරා කඩිනමින් ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලූවට පිළිගත හැකි විසඳුමක් ලබාදීමට කටයුතු යොදන ලෙසත්, පොලීසිය යොදවා ගනිමින් මේ ආකාරයෙන් ගුරුවරු සහ විදුහල්පතිවරු බියගැන්වීම නරත කරන ලෙසත් ප‍්‍රකාශ කර සිටිමු.

හොරණ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ගුරුවරුන් පිළිබඳ විස්තර සෙවීමට සඳහා යවන ලද ලිපිය.

police letter