කම්කරු කාර්යාල වසා කලාප කම්කරුවන්ගෙන් වැඩගනියි

garment

 කොවිඩ් 19 වසංගතයෙන් ජිවිත බේරා ගැනීමට නම් තවත් මසක කාලයක් රට අගුළු දමන ලෙස වෛද්‍ය සංගමය නිර්දේශ කිරීම හමුවේ කම්කරු අයිතීන් හා සම්බන්ධ රජයේ ආයතන වසා දමා වෙළඳ කලාප කම්කරුවන් අඛණ්ඩවම සේවයට කැඳවීමට එරෙහිව වෘත්තීය සමිති ආණ්ඩුවට විරෝධය දක්වති.

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස වෙළඳ කලාප කම්කරුවන් වැඩට කැඳවා ඇතත් ඔවුන් මුහුණදෙන කිසිදු ගැටළුවක් වාර්තා කිරීමට නොහැකි වී ඇත්තේ රට අගුළු දැමීම යටතේ කම්කරු දෙපාර්තමේන්තුවද වසා දමා ඇති නිසා යැයි රෙදිපිළි, ඇඟළුම් හා නිමි භාණ්ඩ කම්කරු සංගමයේ ලේකම් නෙළුම්මලී දේවසිංහ පැවසුවාය.

"බියගම වෙළඳ කලාපයේ විතරක් කම්කරුවන්ගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ඇඳිරි නිතිය දාලා තියෙන කාලේ කම්කරුවන් ගැන බලන්න ඕනෑ කම්කරු දෙපාර්තමේන්තුව හෝ කම්කරු කාර්යාල වැඩ නැහැ. ඒත් වෙළඳ කලාපවල කම්කරුවෝ වැඩ. ආණ්ඩුවට ඕනේ කම්කරු ජීවිත බිල්ලට දීලා හරි ආර්ථිකය රැක ගන්න" යි ජේඩීඑස් වෙත අදහස් දක්වමින් දේවසිංහ කියා සිටියාය.

පඩි රහිත වැඩ

බියගම නිදහස් වෙළඳ කලාපයේ බොහෝ කර්මාන්ත ශාලාවල කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වුවද, ඒ සඳහා නිසි වැඩ පිළිවෙලක් නොමැති ආණ්ඩුව සියලු වගකීම කර්මාන්ත හිමියන්ට බාර දී ඇති බවද රෙදිපිළි ඇඟළුම් හා නිමි භාණ්ඩ කම්කරු සංගමය කියා සිටියි.

nelummalee devasinghe

"යාෂ් හැට් ලංකා වගේ ෆැක්ටරි සමහර මාසවල පඩි ගෙවලාත් නැහැ. ගොඩක් ෆැක්ටරිවල හිටිය කම්කරුවන් ගණන දැන් ටිකක් අඩුවෙලා, සමහරු වැඩට එන්නේ නැහැ. තවත් සමහරු කොවිඩ් හැදිලා නිරෝධායනයේ. ඒ හින්දා ඉන්න කම්කරුවන්ට තමන්ට දරන්න බැරි ප්‍රමාණයෙන් ටාගට් කවර් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ගැබිණි සේවිකාවන්ට වැඩට එන්න එපා කියල තිබුණත් සමහර ෆැක්ටරි එයාලවත් වැඩට කැඳවනවා`` යැයි නෙලුම්මලී දේවසිංහ වැඩි දුරටත් පැවසුවාය.

"කොවිඩ් ආසාදිත වුණොත් දවස් 14 ක් නිරෝධායනය කරන්නේ කම්කරුවන්ගේ නිවාඩු කපලා. පඩිය බාගයයි දෙන්නේ. විෂබීජ හරණය කරන්නෙත් නැහැ. ගොඩක් ෆැක්ටරිවල මාස්ක් පවා දෙන්නේ නැහැ, ඒවත් සල්ලි දීලා ගන්න වෙලා තියෙන්නේ කම්කරුවන්ටමයි`` යැයි ප්‍රකාශ කරන ඇය, කටුනායක, නිට්ටඹුව හා කොග්ගල වෙළඳ කලාප කම්කරුවන්ටද රැකියාවලට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ මෙවැනිම පසුබිමක් යටතේ බව ද කියා සිටියාය.

 "කටුනායක වෙළඳ කලාපේ ගොඩක් ෆැක්ටරිවලින් වාර්තාවෙලා තියෙනවා විෂ බිජ හරණය, අවම වශයෙන් මීටරයක හෝ පරතරය නැති කම, ආසාදිතයන් හඳුනා ගන්න පිසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණ නිසි පරිදි නොකිරීම වැනි කාරනා වසංගතය පැතිරෙන්න හේතුවෙලා තියෙන බව`` යැයි ස්ටෑන්ඩ් අප් කම්කරු සංගමයේ ලේකම් අශිලා දන්දෙණිය කියා සිටියාය.

12ක් සේවයෙන් නෙරපයි

Ashila dandeniya 6

වැටුප අඩක් පමණක් ගෙවන, නිරෝධනයට ලක්කළ විට වැටුප් නොගෙවන සහ නිවාඩු කප්පාදු කරන කර්මාන්ත හිමියන් ගැන බහුලව කටුනායක වෙළඳ කලාපයෙන් වාර්තා වේ.

"ක්‍රිස්ටල් මාර්ටින් කම්හලේ අත්හැර දාපු බිල්ඩිමක ඇඳන් 300ක් විතර තියෙන තියෙන නිරෝධායන මධස්ථානයක් පවත්වා ගෙන යනවා. මේකේ ඉන්නේ වැඩිපුරම පිටස්තර කොවිඩ් ආසාදිතයන්. කලාපේ අයව ෆැක්ටරිවලින් නිරෝධායනය කරන්නේ බෝඩිම්වල, නැත්නම් ගෙවල්වල. ඒ අයව මේ නිරෝධායන මධ්‍යස්ථානයට යවන්නේ නැත්තේ ඒකට රුපියල් 1500 ක් අය කරන නිසා" යැයි දන්දෙණිය පැවසුවාය.

Chamila Thushari 3

මීට අමතරව නිට්ටඹුව වතුපිටිවල වෙළඳ කලාපයේ ඒ.ටී.ජී කර්මාන්ත ශාලාවේ වෘත්තීය සමිතියක් පිහිටුවීමට මුල් වූ කම්කරුවන් 12 දෙනකු සේවයෙන් නෙරපා හැර ඇතැයි ඩාබිඳු කම්කරු සංගමයේ ප්‍රධානි චමිලා තුෂාරි ජේඩීඑස් හා කියා සිටියාය.

ඇය පෙන්වාදෙන ආකාරයට, වැඩ තහනමට හේතුවී ඇත්තේ කොවිඩ් වසංගතය උපයෝගී කරගෙන පාලකයන් විසින් කම්කරු අයිතීන් කප්පාදු කිරීමට එරෙහිව එම කම්කරුවන් මූලික වී වෘත්තීය සමිතියක් ගොඩනැගීම ය.

(jdslanka.org)