ලංගම විනාශ කිරීමට යන බවට චෝදනා කර බේරාදෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලියයි

ctb

ශ්‍රී ලංගමය විනාශ කිරීම සඳහාම 2005 අංක 27 දරණ ගමනා ගමන මණ්ඩල පනත වෙනස් කිරීමේ සැලැස්ම වලක්වා ලීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියයක් යවමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, 1958 ජනවාරි 01 වන දින ස්ථාපිත කරන ලද ශ්‍රී ලංගමය විනාශ කිරීමට 1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංගමය ශක්තිමත් කරනවා වෙනුවට එය විනාශ කිරීම සඳහාම පුද්ගලික අංශයට මගී ප්‍රවාහනය කිරීමේ අයිතිය ලබා දුනි. ඉන් අනතුරුව 1978.06.15 වන දින ප්‍රාදේශීය ගමනා ගමන මණ්ඩය ස්ථාපිත කරන ලදී. මෙතෙක් මධ්‍යගතව තිබූ ශ්‍රී ලංගමය කෑලි කෑලි වලට වෙන්කරලීම සඳහාම ප්‍රාදේශීය ගමනා ගමන මණ්ඩල වශයෙන් 9කට වෙන්කරන ලදී. ඉන් පසුව එම ආණ්ඩුවම 1990.12.28 වන දින ජනතාකරණ ක්‍රියාවලිය දියත් කරන ලදී. මේ සියලූම ක්‍රියා මාර්ගයන් ගනු ලැබුවේ ශ්‍රී ලංගමය විනාශ කිරීම සඳහාමය.

නැවත ශ්‍රී ලංගමය ස්ථාපිත කරන බවට පොරොන්දු වූ පොදු පෙරමුණ 1994 දී බලයට පත් වූ පසු ශ්‍රී ලංගමය ස්ථාපිත කිරීම අමතක කර 1997.07.07 වන දින පොකුරු බස් සමාගම් 12 ක් ස්ථාපිත කර ශ්‍රී ලංගමය වෙනත් ආකාරයකට විනාශ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. 1994 දී පොදු පෙරමුණ බලය ගැනීමට ශ්‍රී ලංගම සේවකයන්ටත් මගී ජනතාවටත් ශ්‍රී ලංගමය නැවත ස්ථාපිත කරන බවට දුන් පොරොන්දුව අමු අමුවේම උල්ලංඝණය කරන ලදී.

ශ්‍රී ලංගමයේ වෘතීය සමිති වල දැවැන්ත කැපකිරීමේ ක්‍රියාවලිය සහ මගී ජනතාවගේ බලවත් ඉල්ලීම මත 2004 ස්ථාපිත කරන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට 2005 ඔක්තෝබර් 19 වන දින නැවත ශ්‍රී ලංගමය ස්ථාපිත කිරීමට සිදුවිය. එවකට පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීන් 39 දෙනාගේ බලවත් ඉල්ලීම මත එම ආණ්ඩුවට ශ්‍රී ලංගමය නැවත ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය පැහැර හැරීමට කිසිසේත්ම බැරිවිය. මේ මොහොත වන විට නැවත ශ්‍රී ලංගමය විනාශ කිරීමට 2005 අංක 27 දරණ ගමනා ගමන මණ්ඩල පනත වෙනස් කිරීම සඳහාම ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන කමිටුවට 2021 අගෝස්තු මාසයේ දී රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) වරයා විසින් සැලැස්මක් ඉදිරිපත් කර ඇත. මෙම සැලැස්මේ එකම අරමුණ මධ්‍යගතව දැනට පවත්වාගෙන යන ශ්‍රී ලංගමය කෑලි කෑලි වලට වෙන්කර එය විනාශ කිරීමේ ක්‍රියාවලියක් බව අප සංගමයේ විශ්වාසයයි.

මධ්‍යගතව පවතින ශ්‍රී ලංගමය නැවත කෑලි කෑලි වලට වෙන්කර ශ්‍රී ලංගමය විනාශ කිරීම සඳහාම 2005 අංක 27 දරණ ගමනා ගමන මණ්ඩල පනත වෙනස් කිරීමේ ක්‍රියාවලිය වැලැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.