හදිසි නීති රෙගුලාසි හදිසියේම මොකටද?

හදිසි නීති රෙගුලාසි හදිසියේම මොකටද?

වෘත්තීය සමිති ක්‍රියාධරයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම බහුජන ව්‍යාපාර මර්දනය කරනු පිණිස ආණ්ඩුව විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කරන බව බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනයාගේ සුබ සිද්ධිය පිණිස මිස ජනයා පීඩාවට පත් කරන කිසිදු ක්‍රියාමාර්ගයක් මේ තුළින් නොගන්නා බව රජයේ නියෝජිතයින් පුන පුනා කියනු ලබයි. මෙහි සැබෑ තතු කෙසේ වනු ඇතිද?

 
කොවිඩ් වසංගතයට මුවාවී ඇතැම් කූඨ වෙළෙඳුන් විසින් ගෙන යන කූඨ සැලසුම් පරාජය කරනු පිණිස මෙන්ම මහජන ආරක්ෂාව හා යහපත තහවුරු කිරීමටත්, ප්‍රජාවේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාමටත් අවශ්‍ය බව පාලකයින් කියා සිටියි. මේ සඳහා  අවශ්‍ය හේතු හා කොන්දේසි පෙළගැසුණෙ මෑත යුගයේ  හාල් හා සීනි වැනි ද්‍රව්‍යයන් හිඟ වීම සහ ඒවායේ මිල සීඝ්‍රයෙන් ඉහළයාමයි.
 
අත්‍යවශ්‍ය ආහාර සැපයුම් සම්බන්ධීකරණය කිරීම සඳහා,  හිටලු හමුදා නිලධාරියෙකු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ධුරයට පත් කරන ලදී. ඇතැම් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය කැඳවා බලධාරීන් විසින්  හාල් හා සීනි සැපයුම් සොයා මෙහෙයුම් දියත් කරන බව පෙන්නුම් කරයි.  පසුව ඒ්වා සැබවින්ම නීතිය ක්‍රියාත්මක කිරීමක් නොව මිලට ගැනීමක් පමණක් බව ද සඳහන් කරනු පෙනෙයි. කෙසේ වෙතත් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම මගින්, ජනාධිපතිවරයා දුර දිග යන බලතල අත්පත් කරගෙන ඇත. මේ අනුව ඔහුට “මහජන ආරක්ෂාව හා මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා ද, කැරලි, කෝලාහල හෝ සිවිල් කැලඹීම් මර්දනය කිරීම සඳහා ද, ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවාවන් පවත්වාගෙන යාමේ දී ද අවශ්‍ය හා යෝග්‍ය බව පෙනෙන” රෙගුලාසි පැනවිය හැකි ය.
 
ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ජගත් ලියනාරච්චි පෙන්වාදෙන්නේ මහජන ආරක්ෂක පනතේ දෙවෙනි කොටස බලාත්මක කිරීමෙන් හදිසි තත්ත්වයක් රට තුළ ප්‍රකාශයට පත් කර ඇති බව හා එවිට මහජන ආරක්ෂක පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට නීතිමය විධිවිධාන පැනවීමේ හැකියාව ඇති බවයි. ජනාධිතිපතිවරයා විසින් දැනට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වරයෙකු පත් කිරීම හා අත්‍යවශ්‍ය පාරිභෝගික සේවා සඳහා ක්‍රියාත්මකවීමට පමණක් රෙගුලාසි  පනවා ඇත. වෙනත් අයුරකින් කිවහොත් අත්අඩංගුවට ගැනීම් හෝ රඳවා ගැනීම් සම්බන්ධයෙන් මෙතෙක් හදිසි නීතිය ප්‍රකාරව ක්‍රියාත්මක වීමට අදාළ රෙගුලාසි පනවා නැත. එසේ වුවද දිනෙන් දින රජය විසින් ගනු ලබන ඇතැම් අත්තනෝමතික ක්‍රියා මාර්ග හමුවේ ඊට එරෙහිව වෘත්තීය සමිති, සිවිල් සමාජ ක්‍රියාකාරීන් අරගල කරන විට මෙවැනි හදිසි රෙගුලාසි නොපනවනු ඇතැයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි බව නීති විශාරදයින් පෙන්වාදෙයි.
 
විශේෂයෙන්ම මහජන ආරක්ෂක පනතේ 5වන වගන්තිය ප්‍රකාරව  නව රෙගුලාසි තවමත් නිවේදනය කර නැතත්, ඒවා ඉදිරියේ දී පනවනු ඇති බවට ඇතැමුන් සැක පළ කරයි. එකී විධිවිධානයන්ට ඕනෑ ම නීතියක් සංශෝධනය කිරීම, ඕනෑ ම නීතියක් ක්‍රියාත්මක වීම නතර කිරීම සහ සංශෝධනයන් සහිත ව හෝ රහිත ව ඕනෑ ම නීතියක් ක්‍රියාවට දැමීම කළ හැකිය.  මේ රෙගුලාසි හරහා, ඕනෑ ම ආකාරයක අරගලයකට තහංචි පැනවීම මෙන්ම දේශපාලන පක්ෂ ඇතුළු ඕනෑ ම සංවිධානයක් තහනම් කිරීම, මහජනයා හිතුමතේ අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍ය වාරණය පැනවීම කළ හැකිය. රටෙහි ආර්ථික අර්බුදයේ බර පැටවීමෙන් ඉමහත් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින වැඩකරන ජනයා  මෙම හදිසි නීතිවල සැබෑ ඉලක්කය විය හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.
 
 
සේවක සේවිකාවන් ලක්ෂ 10ක පමණ පිරිසක් සේවයේ යෙදෙන මූලික රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි  පසුගිය මැයි 27දා පළමු වරට ප්‍රකාශයට පත් කරන ලද, අත්‍යවශ්‍ය මහජන සේවා පනත පසුගියදා යළි අලුත් විය. මෙම නීතිය යටතේ වැඩ වර්ජන තහනම් ය. එම නීති උල්ලංඝණය කිරීම්වලට, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් හා දඩ පැනවිය හැකි ය. වරදකරු ලෙස දඬුවම් ලබන්නන් කිසිදු අනාගත රැකියාවක නිරත වීම වළක්වමින් අපලේඛන ගතකිරීමට සහ ඔවුන්ගේ නිශ්චල හා චංචල දේපළ රාජ සන්තක කිරීමට භාජනය කරනු ලැබිය හැකි ය. එමෙන්ම, අත්‍යවශ්‍ය සේවා නීති උල්ලංඝණය කරන ලෙස සේවකයන් පොළඹවන හෝ උසිගන්වන ඕනෑ ම අයෙකු ට ද මේ සියලු දඬුවම් පැනවිය හැකිය.
 
 
ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුව ඇමතූ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ රටේ ශුද්ධ විදේශ විනිමය සංචිත ශූන්‍යයට ආසන්න වෙනවා, එහි අර්ථය නම් රටේ සංචිත සියල්ලම පාහේ ණයට ගත් ඒවා බවයි. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල තියුණු ලෙස අවප්‍රමාණය වී ඇත.
මෙම සංඛ්‍යා ලේඛනවලින් දරුණු ඇඟවුම් ප්‍රකාශයට පත්වේ. ආර්ථික අර්බුදයේ සමස්ත බරට කරදෙන ලෙස කම්කරුවන්ට හා දුගීන්ට බලකිරීමට ආන්ඩුව සැලසුම් කරමින් සිටියි. සේවක දිරි දීමනා හා නව ව්‍යාපෘති ඇතුළු වියදම් කපන ලෙස, මුදල් ඇමතිවරයා සියලු අමාත්‍යාංශවලට උපදෙස් දී ඇත. රැකියාවලට නව බඳවා ගැනීම් වලට ද ඔහු විසින් තහංචි පනවා තිබේ.
 
රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම සහ ආහාර බෙදාහැරීම සලාක ක්‍රමයකට සිදු කිරීම පිළිබඳ ව ද සාකච්ඡා වෙමින් පවතී. බොහෝ ආනයන දැනට මත් කප්පාදු කරනු ලැබ ඇත.
වැඩ කරන ජනයා දැනට මත් ගැඹුරු සමාජ අර්බුදයකට මුහුන දෙමින් සිටිති. ලෝක බැංකුවට අනුව, පසුගිය වසරේ දී පුද්ගලයන් මිලියන භාගයක් දරිද්‍රතාවට ඇද වැටී ඇත. දිනකට ඩොලර් 3.20ක් ඉපැයීම මත පදනම් වන දරිද්‍රතා ප්‍රතිශතය, 2019 දී සියයට 9.2 සිට 2020 දී 11.7 දක්වා ඉහළගොස් ඇති බව, සීමිත දත්ත විසින් පෙන්වා දෙයි.   මිලියනයකට අධික කම්කරුවන්ට ඔවුන්ගේ රැකියා අහිමි වූ බව අනෙකුත් වාර්තාවලින් පෙන්නුම් කෙරේ.
 
මෙවන් පසුබිමක දැනට පවත්වාගෙන යන ඇගලුම් ක්ෂේත්‍රය ප්‍රමුඛ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල තත්ත්වයද ඉතා ඛේදනීයය. සියලු සේවකයින් සේවයට නොකැඳවන තත්ත්වයක් තුළ සේවයට වාර්තා කරන සේවකයින්ට සෙසු සේවකයින්ගේ සේවාද ඇතුළත්ව ඉලක්ක ගත සේවා සැපයීම ට සිදුව තිබේ. එසේ සේවය කිරීමේදී ඇතැම්විට නියමිත කාලයටත් වඩා වැඩි කාලයක් සේවය කිරීමට සිදුවන අවස්ථා මෙන්ම එහිදී අතිකාල, දිරි දීමනා ආදී කිසිවක්ද අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. ඇතැම් ආයතනවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පවා නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට ඔවුහු චෝදනා නඟති. මෙවන් තත්ත්වයක් තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයන් බොහෝ ක්ෂේත්‍රයන් තුළ අළු යට ගිනි පුපුරු මෙන් සැගෙව  පවතියි. මෙවන් තත්ත්වයක පීඩනයට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිවන තරමටම මර්දනය පිණිස හදිසි නීති රෙගුලාසි පැනවීමේ හා ක්‍රියාත්මක කිරීමේ අවදානම කිසිසේත්ම නොතකා හළ නොහැකිය.
 
 
පී.ඩබ් මුතුකුඩආරච්චි