අභ්‍යාසලාභී උපාධිධාරින්ගෙන් ගැටලුව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ඉල්ලයි

අභ්‍යාසලාභී උපාධිධාරින්ගෙන් ගැටලුව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ඉල්ලයි

අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම හා පවතින ගැටලූ පිළිබඳ ඉක්මන් සාකච්ඡාවක් ලබාගැනීම සම්බන්ධව අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම සඳහා පත් කළ ඇමති කමිටුව වෙත ලිපියක් යවමින් එකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථාය ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ වනවිට බඳවාගෙන ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණු කාලය සැප්තැම්බර් 2 දිනට වසර සම්පූර්ණ වී ඇත. එවන් තත්වයක් හමුවේ, අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම සම්බන්ධ කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් ඉදිරිපත් කර නැත. මෙවන් තත්වයක් තුළ පසුගියදා අභ්‍යාසලාභී පුහුණු කාලය මාස 6කින් දීර්ඝ කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් ඉදිරිපත් කළ බව මාධ්‍ය මගින් වාර්තා විය.

02. ඒ සමග අභ්‍යාසලාභී උපාධිධාරීන් දැඩි නොසන්සුන්තාවයකට පත්විය. පසුව ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විසින් ප‍්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම මාස දෙක, තුනකින් සිදුකරන බවත් ඊට අදාළ ඉදිරි කටයුතු සඳහා අමාත්‍යවරු තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළ බවයි.

03. පසුගිය වසරක කාලයක් තිස්සේ අභ්‍යාසලාභීන් ස්ථිර සේවකයින් කරන රාජකාරී සිදු කළ බව සියලු ආයතන ප‍්‍රධානීන් දනී. ඒ මාසික දීමනාව වන රුපියල් 20000 පමණක් ලබාගනිමිනි.
මේ පිළිබඳව මේ වනවිට සියලු බලධාරීන් දැනුවත් කොට ඇත. මේ පිළිබඳව ඔබතුමන්ලාගේ කඩිනම් අවධානය යොමුකොට ස්ථිර කිරීම සම්බන්ධව හා පවතින ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

එහිදී පහත ගැටලු සාකච්ඡා කිරීමට අවශ්‍ය වේ.

  • කාර්යාලගත හා ක්ෂේත‍්‍ර රාජකාරී කරන අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ගැටලූ
  • පාසල් අනුයුක්ත අභ්‍යාසලාභී උපාධිධාරීන් වසරක් තිස්සේ පාසල්වල අධ්‍යාපන කටයුතු සිදු කළ අතර ඔවුන් නැවත කැඳවමින් සිටී. ඒ පිළිබඳව හා සියලූ අභ්‍යාසලාභීන්ට ගුරු පත්වීම් ලබාදීමට අදාළ වැඩපිළිවෙළ පිළිබඳව
  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දින 7ම සේවයට කැඳවීම හා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ අවදානම් දීමනාව නොලැබීම.
  • සමෘද්ධි කාර්යලවලට සංචරණ සීමා කාලයේ පවා අභ්‍යාසලාභී උපාධිධාරීන් පමණක් දින 5ම කැඳවීම
  • පාරිභෝගික සේවා අධිකාරියට අනුයුක්ත අභ්‍යාසලාභී උපාධිධාරී ගැටලු (ප‍්‍රවාහන දීමනාව ඇතුළු)