පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා මෙවර අයවැයට යෝජනා ලබාදෙයි

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා මෙවර අයවැයට යෝජනා ලබාදෙයි

පෞද්ගලික අංශයේ සේවකයින් නියෝජනය කරන සහ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන ලද වෘත්තීය සමිති විසින් පෞද්ගලික අංශයේ සේවකයින් විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රෙය් ශ‍්‍රමිකයින් සැළකිය යුතු ආකාරයෙන් දායක වන තත්ත්වයක් තුළ ඒ සඳහා 2022 අය-වැය යෝජනා සඳහා ඇතුළත් කිරීම සඳහා යෝජනා කිහිපයක් මුදල් අමාත්‍යවරයා වෙත ලිඛිතව යොමු කර ඇත.

එම යෝජනා වනුයේ, මුළු ලොවම අර්බුදයකට තල්ලූ කළ මෑත කාලයේ බරපතලම ව්‍යසනය වන කොවිඞ් 19 වසංගතය හමුවේ 2022 වසර සඳහා රජයේ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අභියෝගයට මේ දිනවල ඔබ සූදානම්වන බව අපි දනිමු. එබැවින් ඔබේ පහසුවට අපගේ ඉල්ලීම් යෝජනා කල් ඇතිව මෙසේ ඉදිරිපත් කිරීමට අපි අදහස් කළෙමු.

ඒ සම්බන්‍ධයෙන් පෞද්ගලික අංශයේ සේවකයින් නියෝජනය කරන සහ ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික සංගම් ලෙස පහත අත්සන් කරන අප ඉතා කෙටියෙන් මෙහි සඳහන් කරනුයේ අවදානම් තත්ත්වයක් යටතේ වුවද අප රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට පෞද්ගලික අංශයේ සේවකයින් විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රෙය් ශ‍්‍රමිකයින් සැළකිය යුතු ආකාරයෙන් දායක වූ බවය. එබැවින් රටේ ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය විදහාපාන පහත දැක්වෙන සංඛ්‍යා ලේඛන කෙරෙහි ඔබගේ අවධානය පළමුව යොමු කරනු කැමැත්තෙමු.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආරම්භක අවස්ථාවෙහි ආර්ථිකයේ පසුබෑමක් සිදුවුව ද,

  1. පසුගිය 2020 වසරට සාපෙක්‍ෂව 2021 අගෝස්තු මාසය වනවිට ඩොලර් බිලියන 01 ක හෙවත් ඩොලර් මිලියන 1,000 ඉක්මවූ අපනයන ආදායමක් ශ‍්‍රී ලංකාවට හිමිව තිබේ.
  2. පසුගිය 2020 අගෝස්තු මාසයට සාපේක්‍ෂව 2021 අගෝස්තු මාසයේදී වැඩිම අපනයන ආදායම ඇඟළුම් අංශයෙන් ලැබී ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 491.5 ක් වේ. එසේම තේ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 116.78 ක ආදායමක් සහ රබර් ආශ‍්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92.34 ක් ද ලැබී ඇත.

අප රටේ ආර්ථිකය, පවතින ගෝලීය අර්බුදය හමුවේද මෙවැනි තත්ත්වයකින් රඳවා තබා ගැනීමට සමස්ථ පෞද්ගලික අංශයේ සියළුම ක්ෂේත්‍රවල සේවක සේවිකාවන් ඔවුන්ගේ ශ‍්‍රම දායකත්වය ලබා දුන්නේ කොවිඞ් 19 වසංගතයට ගොදුරුවීමේ අවධානම නොතකා වූවත් ඒ සඳහා කිසිඳු අමතර දීමනාවක් ඔවුනට නොලැබුණි. ඔවුන්ට ඇත්ත වශයෙන් සිදු වූයේ සේවයට නොකැඳවීම නිසා අඩ වැටුපකින් ජීවිතය ගැට ගසා ගැනීමටය. මෙසේ 2020 මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා පමණක් ඇඟළුම් ක්‍ෂෙත‍්‍රයේ සේවක සේවිකාවන්ට අහිමි වූ වැටුප් සහ අනෙකුත් දීමනාවල දළ එකතුව ඇමෙරිකානු ඩොලර් මිලියන 24 ක් බව ගණන් බලා ඇත. රැඑකියා අහිමි වූ සංඛ්‍යාව ද සුළුපටු නොවේ.

අපනයන නිෂ්පාදන අංශයන්හි සේවක සේවිකාවන් තල්ලූ කර ඇති අමානුෂික තත්ත්වය තේරුම් ගත හැක්කේ ඇඟළුම් කර්මාන්තයට අදාල මෙම තොරතුරු සමගින්ය. වසංගතය ආරම්භ වූ 2020 වසර ආරම්භයේදී ඇඟළුම් සංවිධානවල ඒකාබද්ධ සංසදයට අනුව සෘජු සේවක සංඛ්‍යාව 500000 ක් වූහ. ඔවුන්ගේම සංඛ්‍යා ලේඛන වලට අනුව මේ වනවිට එම සංඛ්‍යාව 3,50,000 දක්වා අඩුවී ඇත. එහි අනෙක් තේරුම නම්, පසුගිය වසර ආරම්භයේ වූ සේවකයින් පන් ලක්ෂයකින් සූරා ගත් නිෂ්පාදන වටිනාකම දැන් ඉන් අඩකින් ලබා ගන්නා බවය. ඒ අතරතුර ඇඟළුම් ක්‍ෂෙත‍්‍රයේ පමණක් අප දන්නා පරිදි සේවක සේවිකාවන් 06 දෙනෙකුගේ ජීවිත කොවිඞ් 19 වසංගතය හේතුවෙන් අහිමි වී ඇති අතර අනෙකුත් ක්‍ෂෙත‍්‍රවල ද පවතින්නේ මෙවැනිම තත්ත්වයකි.

එවැනි පසුබිමක 2021 අගෝස්තු මස 20 වන දින සිට ක‍්‍රියාත්මක කෙරෙනු ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලයේදීත් අනෙකුත් ආයතන වසා දමා තිබියදී අපනයන නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කර නමුදු එම සේවයට සරිලන කිසිදු විශේෂ දීමනාවක් ඔවුන්ට ලබා නොදෙන ලදී.

ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාවලට අනුව 2020 සැප්තැම්බර් මස සිට 2021 සැප්තැම්බර් මස දක්වා උද්ධමනය සියයට 05.7 කින් වැඩි වී ඇත. එබැවින් තම දෛනික ආදායම් අඩුවීමත් රැකියා අහිමිවීමේ සහ කෝවිඩ්-19 ආසාදනයවීමේ අනතුරත් සමග අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ටද ඔවුන්ගෙන් යැපෙන්නන්ටද ජීවත්වීම ඉසිළිය නොහැකි බරපතල අසීරු තත්ත්වයකි.

ඉහත සියළු තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කළ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන පහත අත්සන් තබන වෘත්තීය සමිතිවන අප, ඔබ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන 2022 වසරේ අයවැය යෝජනා වලට පහත දැක්වෙන අපගේද යෝජනා ඇතුළත් කරන ලෙස මෙයින් ඉල්ලා සිටිමු.

  1. පෞද්ගලික අංශයේ සියළු සේවකයින්ගේ දෛනික අවම වැටුප රු. 1,000/= ක් කරමින් දැනට පවතින අයවැය සහන දීමනාව ද ඇතුළුව රු. 16,000/=ක් වන ජාතික අවම වැටුප රු. 26,000/= ලෙස තීන්දු කිරීම
  2. එකී වැටුප් වැඩි කිරීම් මේ වන විට රු. 60,000/= ක මාසික අවම වැටුපකට හිමිකම් ඇති අය දක්වා වලංගු කරන මෙන්ද යෝජනා කිරීම

ඉහත සඳහන් කර ඇති යෝජනාව අනුව දිනක වැටුප රු. 1,000/= ක් කිරීම මේ වන විටත් රජය ප‍්‍රතිපත්තියක් ලෙස පමණක් නොව ප‍්‍රායෝගිකව ද පිළිගෙන වතු ක්ෂේත්‍රෙය් සේවක සේවිකාවන්ට අදාල පඩි පාලක සභාව මගින් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව ද මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමු.

මේ වන විටත් අප රටේ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ දායකත්වය ලබා දී ඇති බැවින් එම සේවක සේවිකාවන් ඉටු කරන ලද එම මෙහෙවර ඇගයීමක් වශයෙන්ද අප රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම සඳහා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් දිරි ගැන්වීමක් වශයෙන්ද ඉහත යෝජනා ඉදිරි අයවැයට ඇතුළත් කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
එම යෝජනා පහත සඳහන් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇත.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා, ජාතික සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා බැංකු සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා වතු නිලධාරින්ගේ සංගමය