සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා එක්ව නව ආරක පෙළගැසීමක් අත්‍යාවශ්‍යයයි

mental-health

කොවිඩ් හමුවේ බිඳවැටෙන, රටේ මහජනතාවගේ මානසික සෞඛ්‍යය සුරැකීමට  වඩාත් කැපවීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයකින් අවධාරණය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බිය, කණගාටුව, අපේක්ෂා භංගවීම  හා අධික ආතතිය ඇතුළු මානසික තත්ත්ව  වලින් කොවිඩ් සමයේ මහජනතාව පෙලෙන බව ලොව පුරා වාර්තා සනාථ කරයි.වෛරස ව්‍යාප්තිය හමුවේ අපගේ එදිනෙදා චර්‍යාවේ වෙනසක් සිදු වීමද මානසික තත්වයන්හි  පැහැදිලි වෙනස්කම් ඇතිවීමට  බලපා තිබේ. වෛරස ව්‍යාප්තිය අවම කිරීමට පනවා තිබෙන සංචරණ සීමා වැඩි දෙනෙකුගේ සමාජ ජීවිතය අවුල් කර තිබේ. නව ජීවන රටාව යටතේ නිවසේ සිට වැඩ කිරීම, තාවකාලික රැකියා වියුක්තිය හෙවත් රැකියා අහිමිවීම, දරුවන් පාසැල් පරිසරයෙන් ඈත් වීම හා, හිත මිතුරන් එකිනෙකා හමු නොවීම  මේ කාල සීමාවේ මානසික ගැටළු ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු කීපයකි. එබැවින් අපේ කායික හා මනසික සෞඛ්‍යය නිසි පරිදි තබා ගැනීමට නම් විමසිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි.

දැනට ක්‍රියාත්මක මෙරට මානසික සෞඛ්‍ය සේවා සාම්ප්‍රදායික රාමුවේ වැඩි වශයෙන් කොටුවී තිබෙන බව පෙනේ. එබැවින් සියලු සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල හා උනන්දුවක් දක්වන සියලු පාර්ශ්ව එක් කර ගනිමින් නව ආරක සේවා කඩිනමින් ලබාදීමට පෙළගැසීම අත්‍යවශ්‍ය වී තිබෙන බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.  නිසි මානසික සෞඛ්‍ය සේවා සැපයීමේ තත්වය මෙසේ කණගාටුදායක  වුවද සතුටුදායක පුවත වන්නේ සාමාන්‍යයෙන් බහුල මානසික ගැටළු සමනය කිරීම නිසි මැදිහත්වීමක් ඇත්නම් පහසුවෙන්ම කල හැකි බවයි. මානසික අවපීඩනය /විශාදය  (depression ) හා  කාංසාව (anxiety ) තත්වයන් සමනය කිරීම නිසි පරිදි අදාල පුද්ගලයින් සමග සාකච්ජා කිරීමෙන්, උපදේශනය මගින්, භාවනා ක්‍රම මගින් සහ මේ සියල්ලේම එකතුවකින් කල හැකිය. මානසික සෞඛ්‍ය සේවා සපයන පුද්ගලයින් බවට පුහුණුවකින් පසුව සාමාන්‍ය සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල ඉතා පහසුවෙන්ම පත් කල හැකි වීමද විශේෂත්වයකි. දරුණු මානසික රෝග සහිත පුද්ගලයින්ද නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් හා මැදිහත් වීම් සිදු කිරීමෙන් අකාලයේ මියයාම වලක්වා ගත හැකිවේ. ඔටිසම්  (autism) හා ඩිමෙන්ෂියා (dementia) වැනි තත්වයන්ට  ලක්වූ පුද්ගලයින්ගේ ජීවන තත්වය උසස් කිරීම වෙනුවෙන් ඔවුන් රැකබලා ගන්නන් පුහුණු කිරීම කල යුතුය.

ගුණාත්මක මෙන්ම මිලක් ගෙවීමට සිදුවන විට සාධාරණ මිලක් යටතේ මානසික සෞඛ්‍ය සේවා  විශේෂයෙන් ප්‍රජා පාදක මානසික සෞඛ්‍ය සේවා ලබාදීම වෙනුවෙන් කැපවීම අප විසින් කල යුතු රටක් ලෙස සැලසුම් කලයුතු කරුණකි.මානසික ආබාධ හා රෝග සමග ජීවත් වන්නන්ට සිය ජීවිතය පහසු කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සැලසීමත්, ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී එවන් පුරවැසියන් ගැනද සිතා කටයුතු කිරීම රටක, සමාජයක, සබුද්ධික පුරවැසියන්ගේ අත් හල නොහැකි වගකීමකි.